Rajapura Handi Oil
Rajapura Diabetic Powder

STF හි 15 වන අණදෙන නිලධාරීයා ලෙස නි. පොලිස්පති රෝයි රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) 15 වන අණදෙන නිලධාරීවරයා ලෙස නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන රාජකාරි කටයුතු භාරගෙන තිබෙනවා.

අද (25) පෙරවරුවේ විශේෂ කාර්ය බලකා මූලස්ථානයේ දී නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන සිය රාජකාරි භාර ගනු ලැබුවා.

මෙම අවස්ථාවට ශ්‍රී කල්‍යාණී රාජ මහා විහාරවාසී, කැලණිය ගුරුකුල විද්‍යාලයේ සහකාර විදුහල්පති ශාස්ත්‍රපති මාවුස්සාගොල්ලේ මුදිත හිමියන් සහ පට්ටිවිල ශෛලාරාම විහාරාධිපති, කැලණිය විද්‍යාලයේ ආචාර්ය ශාස්ත්‍රපති බැරගම අරියදේව හිමියන් ප්‍රමුඛ මහා සංඝරත්නය වැඩම කළා.

ඊට අමතරව විශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් වන පාලින්ද විජේසුන්දර, එච්.යූ. නිශාන්ත ද සිල්වා සහ ආර්.සී. හේරත්ආරච්චි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.

දෙවන කඳවුර අණදෙන නිලධාරි, කඳවුර අණදෙන නිලධාරි, ස්ථානාධිපති, ප්‍රාදේශීය අණදෙන නිලධාරි සහ කලාප අණදෙන නිලධාරි යන තනතුරුවලට අමතරව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සමීප ආරක්ෂක නිලධාරි, විශේෂ කාර්ය බලකා නියෝජ්‍ය අණදෙන නිලධාරි (මෙහෙයුම්) සහ නියෝජ්‍ය අණදෙන නිලධාරි (පාලන) යන වගකීම් ද දරනු ලැබූ රෝයි සුමනවර්ධන පශ්චාත් උපාධිධාරියකු ද වනවා.