පාස්කු ඉරු දින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් ලෙස නම් කරනවාද, නැද්ද යන්න සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශනය කර අධිකරණයට කරුණු දක්වන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (25) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළා.
සිද්ධියට අදාල නඩුව කැඳවු අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා විසින් මෙලෙස නියෝග කරනු ලැබුවා.
සිද්ධියට අදාල පළමු සහ දෙවන සැකකරුවන් වන දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වව්නතිව් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවය කළ යාසිම් බාවා ජෙගිල්පාස් සහ සරත් සමන්ත නමැති බුද්ධි නිලධාරීන් දෙදෙනා ලබන 09 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියෝග කළා.
සිද්ධියට අදාළ තුන්වන සැකකරුවන හිටපු බුද්ධි අංශ ප්‍රධානී සුරේෂ් සලේ තවදුරටත් රැදවුම් භාරයේ පසු වන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටි අතර සිද්ධියට අදාලව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කරන ලෙස කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කරන බව ද මහේස්ත්‍රාත්වරයා අධිකරණයට දන්වා සිටියා.
සිද්ධියට අදාලව විදෙස් ගමන් තහනම තාවකාලික ඉවත් කිරීමට කරන ලද ඉල්ලීමට අදාල නියෝගය කියවා දෙමින් මහේස්ත්‍රාත්වරයා මෙලෙස නියෝග කළා.
අදාළ නියෝගයේ උපුටා ගැනීම :-
” 2026/ 10/ 28 වන දින ඉල්ලීමකට අනුව මෙම නියෝගය කියවා දෙනු ලබනවා. 2026/6/3 වන දින හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තිදෙනෙකුට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විදෙස් ගමන් තහනමක් පනවා තිබෙනවා. 1979 අපරාධ නඩු විධාන සංග්‍රහයේ 124 වගන්තිය ප්‍රකාරව තමයි මෙම විදෙස් ගමන් තහනම ලබාගෙන තිබුණේ. ඉන්පසු විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස හිටපු ගෝඨාභය රාජපක්ෂ 2026/10/28 වන දින මෝසමක් ගොනුකරමින් අධිකරණයෙන් ඉල්ලා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් 2026/11/4 වන දින අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වූවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කර සිටියේ 2026/6/3 වන දින මෙම ඉල්ලුම්කරුට විදෙස් ගමන් තහනම පැනවීමෙන් පසු දැනට රැදවුම් භාරයේ සිටින මෙම සිද්ධියට අදාළ තුන්වන සැකකරු වන සුරේෂ් සලේ ආහාර ගැනීම ප්‍රතික්ෂේප කළ බවයි. ඉන් අනතුරුව 2026/10/7 වන දින කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මාස හතරක් එහි සිටි බවත් 2026/10/6 වන දින නැවත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ගිය බවයි. එම නිසා සියලු විමර්ශන කටයුතු මන්දගාමී වූ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙර නඩු දිනයේදී දක්වා තිබුණ බවද එම නියෝගයේ සඳහන්ව තිබුණා. තවද දැන් සිද්ධියට අදාලව විමර්ශන ක්‍රමානුකූලව සිදුකරන අවධියක හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මෙම සිද්ධියට අදාළව තමාව අත්අඩංගුවට ගැනීම වළක්වා නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයේ රිට් පෙත්සමක් ගොනු කර ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දන්නා තිබූ බවද එම නියෝගයේ සඳහන්ව තිබුණා. එම රිට් පෙත්සම අභියාචනාධිකරණයෙන් ප්‍රතික්ෂේප වී ඇති බැවින් නැවත එම නියෝගය වළක්වාලන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේද රිට් පෙස්සමක් ගොනුකර ඇති බවත් එය තවමත් විනිශ්චය වෙමින් පවතින බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වා තිබූ බවද එම නියෝගය සඳහන්ව තිබුණා. තවද ඉල්ලුම්කරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥවරයා විසින් සඳහන් කරනු ලැබුවේ 2019 වර්ෂයේ මැයි මාසයේ සිංගප්පූරුවේ රෝහලකදී ඉල්ලුම්කරුට බයිපාස් සැත්කමක් සිදු කළ ඇති බවත් එම සැත්කමට අදාළ පසු වෛද්‍ය ප්‍රතිකාර සඳහා අවස්ථා කිහිපයකදී ඉල්ලුම්කරු සිංගප්පූරුවට ගොස් ඇති බවද එම නියෝගයේ සඳහන්ව තිබුණා. තවද පෙර නඩු දිනයේදි ඉල්ලුම්කරු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගත් බව කියන සිංගප්පූරු රෝහලේ වෛද්‍ය සී ස්වනාදන් නමැති වෛද්‍යවරයා විසින් මේ නිර්දේශ කරන ලද වෛද්‍ය වාර්තාවද පෙර නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කර තිබූ බවද එම නියෝගයේ සඳහන්ව තිබුණා. එම වෛද්‍ය වාර්තාවට අනුව 2026/6/4 සිට 2026/6/28 දක්වා පමණක් එම වෛද්‍යවරයා සිංගප්පූරුවේ සිටින බවයි එහි දක්වා තිබුණේ. ඒ අනුව පාස්කු ප්‍රහාර මාලාව නිසා මේ වනවිට 200 කට අධික ප්‍රමාණයක් ජීවිතක්ෂයට පත්ව ඇති බවත් 500 කට අධික ප්‍රමාණයක් තුවාල ලබා ඇති බැවින් මේ සංවේදී විමර්ශනයක් වන බවද එම නියෝගය දක්වා තිබුණා. එසේම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලුම්කරු ගොනුකර තිබෙන පෙස්සමට අදාළ නියෝගයක් නිකුත් කළ නොමැති අවස්ථාවක විදේශ ගමන් තහනම ඉවත් කිරීම විමර්ශනයට බාධාවක් විය හැකි බවද එම නියෝගය දක්වා තිබුණා. ඒ අනුව ඉදිරිපත් වූ මෙම කරුණු සලකා බලා ඉල්ලුම්කරු විසින් කරන ලද විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කරන ලද ඉල්ලීම මේ අවස්ථාවේ ප්‍රතික්ෂේප කරනවා”
යනුවෙන් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගය කියවා දෙමින් පවසා සිටියේය.
ඉන් අනතුරුව අතිරේක සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් සිද්ධියට අදාළව වැඩිදුර වාර්තාවක් අධිකරණයට ගොනුකරමින් මෙලෙස කරුණු දැක්වූවා.
අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් :-
” ස්වාමීනි, මෙම සිද්ධියට අදාල තුන්වන සැකකරු වන සුරේෂ් සලේ සම්බන්ධයෙන් මනෝ වෛද්‍යවරුන් විසින් නිකුත් කරන ලද වාර්තාව ලැබී තිබෙනවා. එය පිටු 311ක් ,ජේද 1185කින් යුක්තයි. එහි සුරේෂ් සලේ විතරක් ප්‍රකාශ 95 ක් ලබා දිලා තියෙනවා. ප්‍රකාශ තිහක් පමණ ඔහුගේ බිරිඳ ලබා දීලා තිබෙනවා. මම විශ්වාස කරනවා අධිකරණ ක්ෂේත්රයේ හම්බුන විශාලතම මනෝ වෛද්‍ය වාර්තාව තමයි මේක කියලා. තවද මෙම වාර්තාවල සඳහන් කරලා තියෙනවා ලංකාවේ හොඳම රස පරීක්ෂකවරු තමයි මගේ නඩුව විමර්ශනය කරන්න දාලා තියෙන්නේ කියලා. ඒ ගානට ඉතින් සැකකරු බයවෙන්න ඕනේ තමයි. මොකද මෙහි ඇත්ත දැනගනියි කියලා. උපවාස කරනවා. විවිධ කට්ටිය එකතු වෙලා සමාජයේ උපවාස කරනවා. වෛද්‍යවරු ඇල්ලීමේ කලාව සලේ හොඳට දන්නවා. මහාචාර්යවරු දෙන්නෙක් ඇතුළුව විශේෂඥ වෛද්‍යවරු තුන්දෙනෙක් තමයි මේ වාර්තාව ඉදිරිපත් කළේ. සලේව හුරතල් කළා ඇති. ඒ වගේම ස්වාමීනි සමහරුන්ට අසනීප වෙනවනේ. බෙහෙත් ගන්නත් යන්න වෙනවා. තුන්වන සැකකරුට ආහාර දෙනවා කිව්වේ පත්තර කොලේක දාලා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහසික අමානුෂික ලෙස සැලකුවේ නැහැ. තුන්වන සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොඳින් සලකන බවට ප්‍රකාශත් ලබාදීලා තිබෙනවා. මෙයාගේ සම්මානය ඔස්කාර් දිය යුතුයි කියලා මං ගිය නඩු වාරයේදී කිව්වනේ. පිටු 95ක ප්‍රකාශයක් දෙන්න හොඳ මානසිකත්වයක් තිබ්බා. නමුත් තාම මුර පදය මතක නැහැ. රැවටීමේ කලාව. විමර්ශනය නැවැත්වීම තමයි අරමුණ. නමුත් අපට වෙනත් සාක්ෂි වලින් මෙම සිද්ධියට අදාළ වූ කරුණු අනාවරණය වෙලා තියෙනවා. ස්වාමීනි ඔබතුමත් අපටත් ඕනි මෙම විමර්ශනය අවසන් කරන්න. දේශපාලන අරමුණු මත නොවෙයි විමර්ශනය අවසන් කරන්නයි ඕනි. අද ඔබතුමා කිව්වා ගෝඨාභය රාජපක්ෂ සැකකරුවෙක් කරනවද නැද්ද යන්නේ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු දක්වන්න කියලා නියෝග කළා. ඇත්තටම ඒක හොඳයි ඒ සම්බන්ධයෙන් අපි විමර්ශනය කරනවා.”
තවද අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සෙල්සිටර් ජනරාල්වරයා පවසා සිටියේ මෙම සිද්ධියේ මහ නඩුවේ තීන්දුව ලබා දුන් දා විත්තිකරුවන් දෙදෙනකු විසින් ලබා දුන් ප්‍රකාශ සම්බන්ධයෙන් විමර්ශනය කළ බවයි.
ඒ සම්බන්ධයෙන් තවදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අතිරේක සොලිස්ටර් ජනරාල්වරයා මෙලෙස පවසා සිටියා.
” ස්වාමීනි මෙම නඩුවට අදාල මහ නඩුවේ තීන්දුව ඉකුත්දා කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් ලබා දුන්නා. එහි විත්තිකරුවන් දෙදෙනෙකු විසින් මෙම සිද්ධියට තවත් පුද්ගලයන් සම්බන්ධ බවට දඬුවම් නියම කිරීමට පෙර කළ විත්තිවාචකයේදී ප්‍රකාශ කර තිබුණා. ඒ අනුව ඒ අයගෙන් ප්‍රකාශ ලබා ගැනීමට බන්ධනාගාරයට ගොස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ක්‍රියා කර තිබුණා. නමුත් එම විත්තිකරුවන් එම අවස්ථාවේදී ප්‍රකාශ ලබා දී තිබුණේ නැහැ. ඔවුන් පවසා සිටියේ පවුලේ අය සමඟ සාකච්ඡා කොට ප්‍රකාශ ලබා දෙන බවයි. ඊට හේතුව ලෙස ඔවුන් දක්වා තිබුණේ එසේ ප්‍රකාශ ලබා දුන්නොත් ඔවුන්ගේ පවුල්වල අයට ජීවිත තර්ජන ඇති විය හැකි බවයි. එම මහා පාස්කු නඩුවේ පළමුවැනි සාක්ෂිකරු වන්නේ හිටපු බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ සහ දෙවැනි සාක්ෂිකරු වන්නේ රෝහාන් ගුණරත්න. සැලසුම් කරලා මෙය කරලා තිබෙන බවට මෙයින්ද පැහැදිලි වෙනවානේ. තවද මෙම තුන්වැනි සැකකරු ප්‍රකාශ ලබාදීලා තිබෙන්නේ අසාද් මවුලානා සමඟ කිසිදු සබඳතාවයක් නොතිබූ බවට. නමුත් කරන ලද විමර්ශනවලදී අනාවරණය වෙනවා. අසාද් මවුලානා සහ සුරේෂ් සලේ අතර සමීප සබඳතාවයක් තිබූ බවට. ඒ බව ඔප්පු වෙනවා ස්වාමීනී. සුරේෂ් සලේ ඇතුලු පවුලේ දහ දෙනෙක් එක් ලක්ෂ තිස් දාහස් නවසිය හතලිස් හතරක් වියදම් කරලා කාමර හතරක් අරගෙන තිබෙනවා අහුංගල්ල ප්‍රදේශය පැත්තේතේ හෝටලයකින්. මෙම තුන්වෙනි සැකකරු 2020/7/20 වැනිදා තමයි එම කාමර බුක් කරන්නේ. 2020/ 8/15 වැනිදා අසාද් මවුලානා ද එම හෝටලයේම කාමර බුක් කරලා තිබෙනවා. ස්වාමීනි ඉතින් දුරකථන සබඳතා පවත්වන්න ඕනේ නෑනේ මොකද ඒ දවස්වල දෙන්නම හිටියේ හෝටලේ එතකොට ඉතින් කතා කරගන්න ඇතිනේ. නමුත් ප්‍රකාශ ලබාදීලා තිබෙන්නේ හෝටලයේ ඉද්දි අහම්බෙන් දැක්කා කියලා, අසාද් මවුලානාව. නමුත් පරිවේෂණිය කරුණු අනුව අපි ඒ සම්බන්ධයෙන් තහවුරු කරගෙන තිබෙනවා. තවද 2018 දී තම්බි අන්නා නමැත්තෙක් විසින් විශාල විනාශයක් කරන්න යනවා කියලා ගුණවර්ධන කියන අයෙකුට කියලා. ඒ සම්බන්ධයෙන් මෙම තුන්වෙනි සැකකරු දැනගෙන ඉඳලා. ඊයේ පෙරේදා වෙනකම්ම ඒ සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් අපට ලබා දුන්නේ නැහැ. ඒ පුද්ගලයා ඉන්දියාවේ යුධ සම්බන්ධයෙන් පුහුණුවක් ලබා තිබෙන කෙනෙක් බව කලින් දැනන් සිටියානම් ඇයි ඒ බව නොකිව්වේ. තවද ස්වාමීනි යුද හමුදාවේ බුද්ධි නිලධාරීන් දුරකථන අංක ලබාගන්නේ රාජ්‍ය ආයතන වලින් නෙවෙයි. සිලෝන් ශිපින් කොම්පැනියකින්. තුන්වන සැකකරු වන සලේ ගාවද තිබෙන්නේ එම කම්පැනියෙන් ලබාගත් දුරකථන අංකයක්. ඒ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට එම කම්පැනියට ගිය විට දැන් එය වසා ඇති බවත්. තොරතුරු ලබාදීමට අධිකරණ නියෝගයක් ඉල්ලා සිටිනවා.”
තුන්වන සැකකරු වන සුරේෂ් සලේ වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ නීතිඥ භාණුක මලවිආරච්චි
පවසා සිටියේ මෙම නඩුවට අදාළව මුලින්ම වෛද්‍ය වාර්තා සැකකරු වෙනුවෙන් අධිකරණයට ඉදිරිපත් කළ බවත්, එම වෛද්‍ය වාර්තා පැමිණිල්ල විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා පත් කරන ලද වෛද්‍ය මණ්ඩලයකට යටත්ව එම වාර්තාවන් ලැබුණු බවයි.
සිද්ධියට අදාලව වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා මෙලෙස පවසා සිටියේය.
” ස්වාමීනි එම වෛද්‍ය වාර්තාවල සඳහන් වෙනවා මගේ සේවාදායකයාගේ කලිසම පහත් කරලා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් පරීක්ෂා කර ඇති බව, ඒ සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලය අවසානාත්මක තීරණයකට එළඹිලා නැහැ. තවත් විමර්ශන අවශ්‍ය බවයි දන්වා තිබෙන්නේ. වෛද්‍ය මණ්ඩලයේ නිර්දේශ හතරක් දක්වා තිබෙනවා. එහි හතරවන නිර්දේශය දක්වා තිබෙනවා. රදවා තබා ගැනීමේ කාල සීමාව තුළ සිදුවූ එම නින්දිත අසීලාචාර ක්‍රියාව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශනය සිදු කළ යුතු බව. තවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එම සැකකරුවන් රඳවා තිබෙන ස්ථානයේ සිසිටීවී දර්ශන දවස් 30 ක් පමණක් තිබෙන බවද දක්වා තිබෙනවා. මං දන්නෑ ස්වාමීනි ඒ වගේ තැනක ඇයි එම සිසිටිවි දර්ශන දවස් තිහෙන් මැකිලා යන්නේ කියලා. “
මහේස්ත්‍රාත්වරයා :-
ලබා දී තිබෙන වෛද්‍ය වාර්තාවල කොතනක හෝ එම ක්‍රියාව නින්දිත බවට දක්වා තිබෙනවාද?
නීතිඥවරයා :-
නැත ස්වාමීනි.. මම නින්දිත කියල නෙවෙයි අසීලාචාර කියලයි කිව්වේ. නමුත් ඒ සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය තවදුරටත් කළ යුතු බව වෛද්‍ය වාර්තාවේ දක්වලා තිබෙනවා.”
එම අවස්ථාවේදී අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා පවසා සිටියේ, ”ස්වාමීනි.. මෙම වෛද්‍ය වාර්තාවලට එම සිද්ධියට අදාළව සැකකරුට කිසිදු මානසික පීඩාවක් සිදුවී ඇති බවට වෛද්‍ය වාර්තාවල දක්වා නැහැ” යනුවෙනුයි.
සිද්ධියට අදාළ මෙම තුන්වන සැකකරු නිරික්ෂණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිය බවත් එම අවස්ථාවේදි කිසිදු වධහිංසාවකට ලක්ව ඇති බවට දක්වා නොතිබුණු බවද මහේස්ත්‍රාත්වරයා පවසා සිටියා.
පෙර සිදු වු බව කියන සිදුවීම ගැන වෛද්‍ය වාර්තාවේද මානසික පීඩාවකට ලක්ව ඇති බවට වාර්තා කර නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා පවසා සිටියා.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළ පළමු සහ දෙවැනි සැකකරුවන් දෙදෙනා යළිත් රක්ෂිත බන්දනාගාර ගත කරමින් නඩුව ජනවාරි 27 යළි කැඳවිමට නියෝග කළා.










