Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කැළණියේ ඔට්ටු තබන ස්ථානයකින් අවි‌ පෙන්වා මුදල් කොල්ලකෑ අයට වසර 10ක සිර දඬුවම්

ගිනි අවි ඇතුළු අවි ආයුධ රැගෙන කැලණිය- දළුගම ටයර් හන්දිය ප්‍රදේශයේ පිහිටි මුදලට ඔට්ටු තබන ස්ථානයකට මහ රෑ කඩා වැදි රුපියල් 9740 ක මුදලක් කොල්ලකෑම ඇතුළු චෝදනා වලට වරදකරුවන් කරනු ලැබූ විත්තිකරුවන් පස් දෙනකුට, කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි විසින් වසර දහය බැගින් සිර දඬුවම් නියම කර තිබෙනවා.

මෙයට වසර විසි හතරකට පමණ පෙර සිදු කළ එම වැරදි වලට දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව වැරදිකරුවන් කරනු ලැබූ ප්‍රභාද් දේශප්‍රිය, ජය ශාන්ත පෙරේරා, සමන් ප්‍රියදර්ශන, උපුල් විතාරන හා රංජිත් එදිරිසිංහ යන වරදකරුවන්ට එලෙස දඬුවම් නියම කළා.

මේ වන විට අධිකරණය මගහැර ගොස් සිටින පළමුවන හා හතරවන විත්තිකරුවන් දුටු තැන අත්අඩංගුවට ගැනීමට විවෘත වරෙන්තු නිකුත් කළ විනිසුරු රශ්මි සිංගප්පුලි , එම විත්තිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන සිය අධිකරණය විසින් නියම කළ දඬුවම් ක්‍රියාත්මක කරන ලෙසද නියෝග කර තිබෙනවා.

2002.02.20 නිදා කොල්ලකෑම පොදු අරමුණු කරගත් නීති විරෝධී රැස්වීමකට සංවිධාකයන් වීම, නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ගිනි අවි ජීව උණ්ඩ ඇතුළු අවි ආයුධ සන්නද්ධව ස්පෝර්ට්ස් ටයිම්ස් නැමති ආයතනයට කඩා වැදී ගිනි අවි පෙන්වා සේවකයන් ඇතුළු වී සිටි පිරිස බිය ගන්වා එහි මුදල් මංකොල්ලකෑම ඇතුළු චෝදනා හයක් යටතේ නීතිපතිවරයා විසින් එම නඩුව පවරා තිබුණා.

පළමු, තෙවන හා හතරවන විත්තිකරුවන් චෝදනා තුනකට වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරයා එකී විත්තිකරුවන් තිදෙනාට වසර විස්සයි මාස හය බැගින් සිර දඬුවම්ද, චෝදනා දෙකකට වරදකරුවන් කරනු ලැබූ දෙවන හා පස්වන විත්තිකරුවන්ට වසර දහයයි මාස හය බැගින් වූ සිර දඬුවම්ද නියම කොට එකී සිර දඬුවම් එනම් එකවර වසර දහයක කාලයකින් ගෙවී යන ලෙසට ලබාදීමටද නියෝග කළ‍ා.

රජයේ අධිනීතීඥ ධම්මික උඩවත්ත නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙය වුවා.