Rajapura Handi Oil
Rajapura Diabetic Powder

උත්සව සමයේ බිත්තර මිල ඉහළ නොදැමීමට බිත්තර නිෂ්පාදන සංගම් එකඟ වෙයි

උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් හිඟයකින් තොරව පාරිභෝගිකයාට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (23) වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යංශයේදී පැවැත්වුණා.

වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති එම සාකච්ඡාවට බිත්තර හා කුකුළු මස් වෙළෙඳ සංගම්, සුළු හා මහා පරිමාණ නිෂ්පාදන සංගම්, බෙදාහරින්නන් සහ සත්ත්ව ආහාර නිෂ්පාදකයන් ඇතුළු එම ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශ්වයන්හි සහභාගිත්වයෙන් පැවති එම සාකච්ඡාවේදී වෙළෙඳපොළේ කුකුළු මස් මිල අඩු වන තත්ත්වයක් නිරීක්ෂණය වුවද, බිත්තර මිලෙහි යම් වැඩිවීමක් ඇති බැවින් උත්සව සමයේ මිල වැඩිවීමකින් තොරව ජනතාවට බිත්තර ලබාදීමේ අවශ්‍යතාව අමාත්‍ය වසන්ත සමරසිංහ පෙන්වාදුන්නා.

උත්සව සමය තුළ බිත්තර මිල ඉහළ නොදමා පවතින මිල ගණන් යටතේ පවත්වා ගෙන යාමට බිත්තර නිෂ්පාදන සංගම් මෙහිදී එකඟතාව පළකළා.

එමෙන්ම හිඟයකින් තොරව කුකුළු මස් මෙම උත්සව සමයේදී ජනතාවට ලබා දෙන බවටත්, කුකුළු මස් මිල දැනටමත් අඩුවෙමින් පවතින බවටත් කුකුළු මස් නිෂ්පාදන හා වෙළෙඳ සංගම් ප්‍රකාශ කළා.

කෙසේ වෙතත්, සත්ත්ව ආහාර අමුද්‍රව්‍ය ගැටලු, සත්ත්ව ආහාරවල ප්‍රමිතිය පිළිබඳ ගැටලු සහ නිසි විද්‍යාත්මක දැනුම අඩුකම නිසා, සුළු පරිමාණ ගොවීන්ට සත්ත්ව ආහාර නිසි ලෙස සමතුලිත කරගැනීමට අපහසු වී ඇති බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස ඔවුන්ගේ බිත්තර නිෂ්පාදනයට යම් බලපෑමක් එල්ලවී ඇති බවත් මෙම සාකච්ඡාවේදී හඳුනා ගැනුණා.

ඒ අනුව සත්ත්ව ආහාරවල ගුණාත්මකභාවය හා නිසි ප්‍රමිතිය පවත්වාගැනීමටත්, සත්ත්ව ආහාර නිෂ්පාදනය කරන්නන් ලියාපදිංචියටත්, එම නිෂ්පාදනාගාර පරීක්ෂාවටත් අවශ්‍ය පියවර ගන්නා ලෙස ද මෙහිදී අමාත්‍යවරයා පරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට උපදෙස් ලබා දුන්නා.

අමාත්‍යාංශ ලේකම් කේ.ඒ. විමලේන්තිරරාජා , අමාත්‍යාංශ අතිරේක ලේකම් ගිල්මා දහනායක , පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් සහ සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ නිලධාරින් පිරිසක් ද මෙම සාකච්ඡාවට එක්වුණා.