ශ්‍රී ලංකා නාවික හමුදාවේ අභිනව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන අද (22) දින සිට පත් කර තිබෙනවා.
නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ඩේමියන් ප්‍රනාන්දු විසින් ඊට අදාළ පත්වීම් ලිපිය, රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන වෙත නාවික හමුදා මූලස්ථානයේදී නිල වශයෙන් ප්රදානය කර ඇති බවට වාර්තාවෙනවා.
කෑගල්ල, තෝලන්ගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන , 1992 වර්ෂයේදී ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ 10 වැනි බඳවා ගැනීමට අයත් ශිෂ්‍යභට නිලධාරියෙකු වශයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවේ විධායක අංශයට එක්වුණා.
සිය මූලික පුහුණුව සාර්ථකව සම්පූර්ණ කර, 1994 වර්ෂයේ වැඩ බලන උප ලුතිනන් වරයෙකු වශයෙන් අධිකාරියට පත්වන ඔහු, 1996 වර්ෂයේදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයෙන් යාන්ත්‍රික ඉංජිනේරු විද්‍යාව පිළිබඳ විද්‍යාවේදී උපාධිය ලබා, උප ලුතිනන් තාක්ෂණික පාඨමාලාව 1999 වර්ෂයේදී නාවික හා සාගරික විද්‍යාපීඨය වෙතින්ද, ජල ශාස්ත්‍ර පාඨමාලාව 2002 වර්ෂයේදී ඉන්දීය නාවික හමුදාව වෙතින්ද හදාරා, ජල ශාස්ත්‍රය සම්බන්ධ විශේෂඥතාවය ලබා තිබෙනවා.
රියර් අද්මිරාල් ධම්මික විජේවර්ධන, සිය කනිෂ්ඨ නාවික මාණ්ඩලික පාඨමාලාව 2004 වර්ෂයේදී බංග්ලාදේශය වෙතින්ද, ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික පාඨමාලාව 2008 වර්ෂයේදී අමෙරිකා එක්සත් ජනපදයේදී සහ දීර්ඝ ජල ශාස්ත්‍රීය පාඨමාලාව 2010 වර්ෂයේදී ඉන්දියාවේදී හදාරන ඔහු, ඉන්දියාවේ ගෝවා විශ්ව විද්‍යාලයෙන් ජල ශාස්ත්‍රීය විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධිය ලබා ඇති බවටත් සඳහන් වෙනවා.
සිය වෘත්තීය අධ්‍යයනයෙහි අඛණ්ඩව නිරත වෙමින්, ඉන්දීය ජාතික ආරක්ෂක විද්‍යායතනයේ ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ පාඨමාලාව හදාරා, ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂක හා උපායමාර්ගික අධ්‍යයනය පිළිබඳ දර්ශනපති උපාධිය හිමිකර ගනිමින් ක්රමාණුකූලව උසස් වීම් ලබන ඔහු, 2024 වර්ෂයේ රියර් අද්මිරාල් නිලයට පත්වුණා.










