Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ශ්‍රී පාද මාවත කිසිවෙකුටත් අයිති නෑ, අයිතිය මහජනතාවට – ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන්

ශ්‍රී පාද මාවත කිසිවෙකුටත් අයිති නොවන බවත්, එම මාවත සප්‍රමාණිකව මහජනතාව සතු එකක් බවත් ශ්‍රී පාදස්ථානාධිපති පූජ්‍ය බෙන්ගමුවේ ශ්‍රී ධම්මදින්න නාහිමියන පවසනවා.

2026-2027 ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම පිළිබඳව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ නිලධාරීන් දැනුවත් කිරීම සඳහා ඊයේ (18) පැවැති විශේෂ රැස්වීමක දී උන්වහන්සේ මේ බව සඳහන් කළා.

මෙහිදී අදහස් දැක් වූ නාහිමියන්, නල්ලතන්නිය බෞද්ධ මධ්‍යස්ථානය අසල සිට රත්නපුර පලාබද්දර ශ්‍රී පාද තොරණ දක්වාවන මාර්ගය වනජීවී දෙපාර්තමේන්තුවට අයත් නොවන බවයි පෙන්වා දුන්නේ.

අවාරයේ පැමිණෙන ඇතැම් දේශීය සංචාරකයන් ශ්‍රී පාද මාවතේ පරිසරයට සහ පොදු දේපළවලට හානි කරන බවත්, වනජීවී දෙපාර්තමේන්තුව මුදල් අයකර ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම නිසා ඒ පිළිබඳ නීතිමය පියවර ගැනීමට බාධා මතුව ඇති බවත් උන්වහන්සේ මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් සඳහන් කළා.

මේ අතර ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස නම්කර, මාවත දෙපසට අඩි 20 බැගින් වන සේ ගැසට් කරන ලෙස අවස්ථා කිහිපයකදීම රජයන්ගෙන් ඉල්ලා සිටිය ද එය මෙතෙක් ඉටුව නොමැති බවයි උන්වන්සේ පැවසුවේ.

මෙවර වන්දනාවාරය අවසන් වීමට පෙර ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සහ මෙම මාර්ගය ‘ශ්‍රී පාදස්ථාන මාවත’ ලෙස නම් කිරීමට මැදිහත් වන ලෙස රැස්වීමට සහභාගි වූ නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මංජුල සුරවීරආරච්චිගෙන් උන්වහන්සේ ඉල්ලීමක් ද කළා.

මෙවර ශ්‍රී පාද වන්දනාවාරය දෙසැම්බර් මස 23 වන උදුවප් පෝදා ආරම්භ වනවා.

පරිසරය ආරක්ෂා කරගනිමින්, ශ්‍රී පාදස්ථානය පූජනීය ස්ථානයක් ලෙස සලකා වන්දනාවේ පැමිණෙන ලෙස ශ්‍රී පාදස්ථානාධිපති නාහිමියන් වන්දනාකරුවන්ගෙන් ඉල්ලා සිටිනවා.