Rajapura Handi Oil
Rajapura Diabetic Powder

APEC සමුළුවේ සමාරම්භයේදී පුටින් සහ ෂී ජින්පිං අතර හමුවක්

චීන ජනාධිපති ෂී ජින්පිං සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර හමුවක් අද (18) පෙරවරුවේ චීනයේ Shenzhenහිදී සිදුවුණා.

ආසියා-පැසිෆික් ආර්ථික සහයෝගීතා (APEC) සමුළුවට සහභාගි වීම සඳහා රුසියානු ජනාධිපතිවරයා චීනයට පැමිණ සිටින අතරතුර මෙම හමුව පැවැත්වුණා..

මේ අතර, ආසියා ශාන්තිකර කලාපයේ කාර්මික හා ව්‍යාපාරික ක්ෂේත්‍රයන්හි නියෝජිතයන්ගේ සහභාගිත්වයෙන් යුත් APEC ප්‍රධාන විධායක නිලධාරීන්ගේ සමුළුවේ සමාරම්භක උත්සවය අද (18) පෙරවරුවේ පැවැත්වුණා.

ඒ චීන ජනාධිපති ෂී ජින්පිංගේ ප්‍රධානත්වයෙන්.

මෙම උත්සවය පැවැත්වුණේ ‘ආසියා ශාන්තිකර කලාපයේ පැහැබර අනාගතයක් උදෙසා දැඩි ආත්ම විශ්වාසයකින් අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කරමු’ යන ප්‍රධාන තේමාව යටතේයි.

මෙම සමාරම්භක උත්සවයේදී ෂී ජින්පිං ජනාධිපතිවරයා එහි ප්‍රධාන දේශනය ද සිදු කරමින් අවධාරණය කර සිටියේ, ආසියා ශාන්තිකර කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම චීනයේ අපේක්ෂාව බවයි.

එමෙන්ම ආර්ථික ගෝලීයකරණ රැල්ලත් සමගම APEC සංවිධානය බිහි වූ බවත්, එය ආසියා-පැසිෆික් කලාපය වර්තමාන යුගයේ පෙරමුණටම ගෙන ඒමට දායක වූ බවත් ඔහු එහිදී පෙන්වා දුන්නා.

විවිධ පාර්ශ්වයන් සමග එක්ව, ආසියා ශාන්තිකර කලාපයේ පැහැබර අනාගතයක් උදෙසා දැඩි ආත්ම විශ්වාසයකින් අධිෂ්ඨානශීලීව ඉදිරියට ගමන් කරමින්, පොදු ඉරණමක් සහිත ආසියා-පැසිෆික් ප්‍රජාවක් ගොඩනගා ආසියා-පැසිෆික් කලාපයේ පොදු සමෘද්ධිය තහවුරු කිරීම වෙනුවෙන් ක්‍රියා කිරීමට චීනය කැමැත්තෙන් සිටින බව ෂී ජින්පිං එහිදී සඳහන් කළා.

ඒ වෙනුවෙන්, සාමය සහ ස්ථාවරත්වය පිළිබඳ තත්ත්වය සුරක්ෂිත කිරීමත් විවෘත සහයෝගීතාව සඳහා පාලම් ගොඩනැගීමත් සිදුකළ යුතු බව ඔහු පැවසුවා.

එමෙන්ම නවෝත්පාදනය මූලික කරගත් වර්ධනය දිරිමත් කළ යුතු අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක ප්‍රතිඵල කරා යන මාර්ග පුළුල් කිරීම ද කළ යුතු බව ඔහු එහිදී පෙන්වා දී තිබෙනවා.

චීනයේ 15වැනි පස් අවුරුදු (2026-2030) සැලැස්ම, සිය සංවර්ධන සැලැස්ම පමණක් නොව චීනය ගෝලීය කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රයට ලබා දෙන සහයෝගීතා ආරාධනාවක් ද බවත්, ඉන් ආසියා-පැසිෆික් කලාපය ද ඇතුළුව ගෝලීය ආර්ථික වර්ධනයට අවස්ථා රැසක්  උදා වන බවත් ෂී ජින්පිං පැවසුවා.

එමෙන්ම චීනයෙන් ගෝලීය කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රයට අතිවිශාල පරිමාණ විවෘත වෙළඳපොළ අවකාශයක් සැපයෙනු ඇතැයි ෂී ජින්පිං එහිදී අවධාරණය කළා.

ලෝකයේ විශාලතම මධ්‍යම ආදායම් ලබන කාණ්ඩය ඇතුළත් චීනයට ආයෝජන  හා පරිභෝජන අංශයන්හි දැවැන්ත විභවයක් පවතින බැවින්, චීනය ගෝලීය කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රයට යහපත් අනාගතයක් සහිත සංවර්ධන අවස්ථා සලසන බවත් ඔහු පෙන්වා දුන්නා.

එමෙන්ම චීනය ගෝලීය කර්මාන්ත හා වාණිජ ක්ෂේත්‍රයට අන්‍යෝන්‍ය වශයෙන් දිරිගැන්වීම් සිදුකරමින්, දියුණු වන සහයෝගීතා පරිසරයක් බිහිකරනු ඇති බව ද චීන ජනාධිපතිවරයා පැවසුවා.

චීන නිෂ්පාදන කර්මාන්තයට විදෙස් සමාගම් ප්‍රවේශ වීම හා විදෙස් සමාගම් චීන නිෂ්පාදන කර්මාන්තයේ ව්‍යාපාර කටයුතු කිරීමට අවසර ලබාදීම වෙනුවෙන් චීනය සමස්තයක් වශයෙන් ක්‍රියා කරනු ඇති සේම සේවා කර්මාන්තයේ විවෘතභාවය චීනය ක්‍රමානුකූලව පුළුල් කරනු ඇති බව ද චීන ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කළා.

එමගින් ගෝලීය ව්‍යවසායන්ට චීනයේ ආයෝජනය කිරීමට සහ ව්‍යාපාර කටයුතු සිදු කිරීමට වඩාත් ස්ථාවර, පුරෝකථනය කළ හැකි මෙන්ම යහපත් පරිසරයක් සලසා දෙනු ඇති බව ෂී ජින්පිං මෙම සමුළුවේදී වැඩිදුරටත් අවධාරණය කළා.