Rajapura Handi Oil
Rajapura Diabetic Powder

2027 වසරේ සංචාරය සඳහා ලොව හොඳම ගමනාන්තය ලෙස ඉන්දියාව නම් කෙරේ

2027 වසරේ සංචාරය සඳහා ලොව හොඳම ගමනාන්තය ලෙස ඉන්දියාව නම්කර තිබෙනවා.

ජාත්‍යන්තර සංචාරක සඟරාවක් වන ට්‍රැවල් ඇන්ඩ් ලෙෂර් සඟරාව විසින් මෙම නම් කිරීම සිදුකර ඇති අතර, 2014 වසරේ සිට වාර්ෂිකව මෙම නම් කිරීම කරනු ලබනවා.

මීට පෙර බ්‍රසීලය, තායිලන්තය සහ කොස්ටාරිකාව වැනි රටවල් ද මෙම ගෞරවයට පාත්‍ර වී තිබෙනවා.

වනජීවී සංචාරක ආකර්ෂණ, සුවතා සහ ආයුර්වේද ක්‍රමවේද මෙන්ම ටජ්මහල වැනි ලෝක ප්‍රසිද්ධ ස්ථාන හේතුවෙන් ඉන්දියාව දශක ගණනාවක් පුරා සංචාරකයන්ගේ ආකර්ෂණයට ලක්වූ රටක්.

කෙසේ වෙතත්, එරටට පැමිණෙන විදේශීය සංචාරකයන්ගේ සංඛ්‍යාව මෑත වසරවලදී පහළ ගොස් තිබෙනවා.

2019 වසරේදී වාර්තා වූ මිලියන 10.93ක සංචාරක පැමිණීම් සංඛ්‍යාව 2025 වසර වනවිට මිලියන 9.15ක් දක්වා අඩුවී ඇති අතර, එය සියයට 8ක පහත වැටීමක්.

ඉන්දියාව 2047 වසර වනවිට වාර්ෂිකව සංචාරකයන් මිලියන 100ක් ආකර්ෂණය කරගැනීමේ ඉලක්කයක් ද තබා තිබේ. එය ඉන්දියාවේ නිදහසේ සියවස් සැමරුම යෙදෙන වසරයි.

ඉන්දියාවේ සංචාරය කිරීමට සුදුසු ස්ථාන අතර රාජස්ථාන් ප්‍රාන්තයේ උදයපූර් නගරය විශේෂයෙන් නිර්දේශ කර තිබේ. විල් හතකින් වටවී ඇති එම නගරය නැගෙනහිර වැනීසිය ලෙස ද හැඳින්වෙනවා.

එමෙන්ම, නවදිල්ලි නුවර පිහිටි කුතුබ් මිනාරය සහ හුමායුන්ගේ සොහොන් ගෙය මෙන්ම ආග්‍රාහි ටජ්මහල ද සංචාරක ආකර්ෂණ අතරට එක්කර තිබෙනවා.

ඊට අමතරව, සංචාරකයන් සඳහා සීමිත දූපත් සංඛ්‍යාවක් පමණක් විවෘත කෙරෙන ලක්ෂද්වීප් දූපත් සමූහය, ඉන්දියාවේ වැඩිම කොටි ගහනයක් වාසය කරන මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තය සහ සුවිශේෂී ගෘහ නිර්මාණ ශිල්පයෙන් යුත් චෙට්ටිනාඩ් ප්‍රදේශය ද සංචාරය සඳහා නිර්දේශ කර තිබෙනවා.