Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ජනාධිපති අරමුදලෙන් යාපනය විශ්ව විද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදෙයි

ජනාධිපති අරමුදල මඟින් ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන යටතේ, යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම ඊයේ (14) එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී සිදුවුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායකගේ සංකල්පයක් මත නව වැඩසටහනක් ලෙස හඳුන්වා දෙන ලද ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති සියලු විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනක් ජනාධිපති අරමුදල මඟින් ක්‍රියාත්මක වෙනවා.

මෙම වැඩසටහන සඳහා එක්සත් රාජධානියේ Stroud Rotary Club සහ Wish පදනම අනුග්‍රාහකත්වය සපයන අතර, එහි පළමු අදියර රජරට විශ්ව විද්‍යාලයේදී සහ දෙවැනි අදියර රුහුණ විශ්ව විද්‍යාලයේදී ක්‍රියාත්මක කෙරුණා.

එහි තවත් අදියරක් වශයෙන් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම ඊයේ (14) එම විශ්ව විද්‍යාල පරිශ්‍රයේදී සිදුවුණා.

මෙහිදී සිසු සිසුවියන් 800කට අධික පිරිසක් ඇස් පරීක්ෂාව සඳහා සහභාගී වූ අතර, සිසු සිසුවියන් 526 දෙනෙකුට ඇස් කණ්ණාඩි අවශ්‍ය බවට හඳුනාගෙන තිබෙන අතර, ඔවුන්ට මාසයක් ඇතුළත නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමට නියමිතයි.

ජනාධිපති අරමුදලේ ලේකම් රොෂාන් ගමගේ සහ යාපනය දිස්ත්‍රික් ලේකම් එම්. ප්‍රතීපන් ද, යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ටී.වෙල්ලතම්බි ඇතුළු පිඨාධිපතිවරු ද, විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලය සහ සිසු සිසුවියන් විශාල පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියා.