උඩුදුම්බර ප්‍රදේශයේදී බාලවයස්කාර දැරියක් සමග ගල් ගුහාවකදී අත්අඩංගුවට ගත් 23 හැවිරිදි තරුණයාව ඇප මත මුදා හැරීමට පසුගිය 13 වනදා තෙල්දෙණිය මහේස්ත්‍රාත් අධිකරණය මඟින් නියම කර තිබෙනවා.
ඒ, රුපියල් ලක්ෂ 05ක ශරීර ඇපයක් මතයි.
කෙසේ වෙතත් එම තරුණයාට සහය දුන් බව කියන ඔහුගේ 31 හැවිරිදි ඥාතීයා ද උඩුදුම්බර පොලීසිය විසින් අත්අඩංගුවට ගත් අතර, ඔහුව ලබන 20 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටයි නියම කර ඇත්තේ.
ඇප ලැබුණු සැකකාර තරුණයා ලබන ජනවාරි 13 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙසට ද නියම කළා.
මීට මාස කීපයකට පෙර, නකල්ස් කඳු වැටියේ බටහිර බෑවුමට ආසන්න කරඹකැටිය, දම්බඩේ ප්‍රදේශයේ දී අතුරුදන් වූ 15 හැවිරිදි දැරියක් සම්බන්ධයෙන්, එම දැරියගේ පවුලේ සාමාජිකයන් විසින් උඩුදුම්බර පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා.
ඒ අනුව, එම දැරිය සොයා ගැනීම සඳහා උඩුදුම්බර පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර, විමර්ශන නිලධාරීන්ට එම ප්‍රදේශයේ සැරිසරන තරුණයෙක් සම්බන්ධයෙන් ඇති වූ සැකයක් මත ඔහු පිළිබද විමසිල්ලෙන් පසුව තිබෙනවා.
එහිදී එම තරුණයා, එක් පුද්ගලයෙක්ට අවශ්‍ය ප්‍රමාණය ඉක්මවා වෙළඳසැලකින් දෛනිකව භාණ්ඩ මිලදී ගන්නා බවට නිරීක්ෂණය වීම හේතුවෙන්, ඔහු පසුපස ලුහුබැඳ ගොස් තොරතුරු සොයා බැලීමට පොලිසිය කටයුතු කර ඇති බවයි වාර්තා වන්නේ.
ජනාවාසවලින් වෙන්ව පිහිටි රක්ෂිත ප්‍රදේශයක ඇති ගල් ගුහාවක එම තරුණයා පදිංචිව සිටි ඇති බවත්, එම ගල් ගුහාවේ බාල වයස්කාර මවක් සමඟ කුඩා බිලිඳෙක්ද සිටින බවට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.
පසුව සිදුකරන ලද විමර්ශනවලදී තහවුරු වී ඇත්තේ, එම බාල වයස්කාර මව, මීට මාස කිහිපයකට පෙර අතුරුදන් වූ බවට පොලිසියට පැමිණිලි ලැබුණු 15 හැවිරිදි දැරිය බවටයි.
අදාළ 15 හැවිරිදි තරුණිය විසින් මෙම ගල් ගුවාව තුළම දරුවෙක් ප්‍රසූත කර ඇති බවත්, කිතුල් කැපීම සඳහා භාවිතා කරනු ලබන පිහියක් යොදාගෙන, බිහිකළ දරුවාගේ පෙකිණිවැල කපා ඇති බවටත්, තරුණ යුවළගෙන් සිදු කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී තිබෙනවා.
එමෙන්ම රක්ෂිතයෙන් සොයාගත් බව කියන විවිධ අත්බෙහෙත් වර්ග යොදාගෙන බිළිඳියට සහ මවට ප්‍රතිකාර කළ බවටයි ඔවුන් පවසා ඇත්තේ.
මේ අතර අදාළ බිළිඳිය සමඟ බාල වයස්කාර මව, පොලිස් භාරයට ගැනීමෙන් අනතුරුව, මාස දෙකක් වයසැති එම බිළිඳිය වැඩිදුර ප්‍රතිකාර සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන්, එම බිළිඳියගේ පියා බව කියන 23 හැවිරිදි තාරුණයා සහ ඔහුට සහය වූ 30 හැවිරිදි ඥාතී පුද්ගලයෙක්ව පසුගිය 12 වැනිදා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබුණා.
