Rajapura Handi Oil
Rajapura Diabetic Powder

බෙංගාල බොක්කේ පීඩන අවපාතය අනිද්දා වන විට ‘ප්‍රබල සුළි කුණාටුවක්’ දක්වා වර්ධනයවීමේ වැඩි ඉඩක්

ශ්‍රී ලංකාවට නැගෙනහිරින්, බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති බව කාලගුණ අංශ දැනුම් දෙනවා.

එය අද (15) පෙ.ව. 5.30 වන විට, ත්‍රිකුණාමලය සිට කි.මී. 600 ක් පමණ දුරින්, ඊසාන දෙසින් ස්ථානගත වී තිබූ බව සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව තවදුරටත් මෙම පද්ධතිය ශ්‍රී ලංකාවේ නැගෙනහිර වෙරළට ඈතින් උතුරට බරව වයඹ දෙසට ගමන් කර හෙට දින (16) උදෑසන වන විට ගැඹුරු පීඩන අවපාතයක් දක්වාත් වර්ධනය විය හැකි බවයි පවසන්නේ.

මෙම පද්ධතිය රාත්‍රී කාලයේ දී, දකුණු සහ යාබද බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘ සුළි කුණාටුවක්’ දක්වාත්, නොවැම්බර් 17 වන විට බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව ‘ප්‍රබල සුළි කුණාටුවක්’ දක්වාත් වර්ධනය වීමට බොහෝ දුරට ඉඩ පවතින බවයි දැනුම් දෙන්නේ.

මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 05ත් 15ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශ වල සහ කන්කසන්තුරය සිට ත්‍රිකුණාමලය සහ පොතුවිල් හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලත් නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවුක කටයුතු වලින් වැළකී සිටින ලෙසයි දැනුම් දෙන්නේ.

එම මුහුදු ප්‍රදේශවල ධීවර සහ නාවික කටයුතු වල යෙදෙන ප්‍රජාවන් ආරක්‍ෂිත ප්‍රදේශ කරා යාත්‍රා කරන ලෙසත් උපදෙස් දෙනු
ලබනවා.

මේ සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරනු ලබන ඉදිරි අනාවැකි සහ නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ධීවර සහ නාවුක ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා.