Rajapura Handi Oil
Rajapura Diabetic Powder

රාජ්‍ය සේවය අනවශ්‍ය ලෙස පුළුල් කර රටේ ආර්ථිකයට බරක් පැටවීමට රජය සූදානම් නැහැ – ඇමති නලින්ද

සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් ධාරිතාව තවදුරටත් ශක්තිමත් කරමින්, රෝහල් ඇතුළු සෞඛ්‍ය ආයතනවල පරිපාලනමය, මෙහෙයුම් හා සහායක සේවා කටයුතු වඩාත් කාර්යක්ෂමව හා විධිමත්ව පවත්වාගෙන යාමේ අරමුණින් සේවා කාණ්ඩ හතරක් යටතේ නිලධාරීන් 223 දෙනෙකුට නව පත්වීම් ප්‍රදානය කිරීම අද (14) සිදුකෙරුණා.

ඒ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජීව වෛද්‍ය ඉංජිනේරු අංශයේ නව ශ්‍රවණාගාරයේදී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්සගේ ප්‍රධානත්වයෙන්.

ඒ අනුව, රාජ්‍ය සෞඛ්‍ය කළමනාකරණ සහකාර තනතුරු සඳහා 36 දෙනෙකුට ද, ගබඩාකරු තනතුරු සඳහා 27 දෙනෙකුට ද, සුළු සේවා පාලක තනතුරු සඳහා 06 දෙනෙකුට ද, සෞඛ්‍ය කාර්ය සහායක තනතුරු සඳහා 154 දෙනෙකුට ද වශයෙන් පත්වීම් පිරිනමනු ලැබුවා.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස,

මීට වසර දෙකකට පෙර අද වැනි දිනක පැවැති මහ මැතිවරණයෙන් ලැබූ ජනවරමට වසර දෙකක් සපිරෙන දිනයේදී නව නිලධාරීන් පිරිසකට රාජ්‍ය සේවයට එක්වීමට අවස්ථාව සැලසීම සතුටට කරුණක් බවත්, රාජ්‍ය සේවයට එක්වන එම සියලු නිලධාරීන් ගෞරවයෙන් පිළිගන්නා බව පැවසුවා.

අතීතයේදී ඇතැම් රාජ්‍ය සේවා බඳවා ගැනීම් මැතිවරණ ඉලක්ක කරගත් දේශපාලන අරමුණු වෙනුවෙන් සිදුකළ ක්‍රියාවලියක් බවට පත්ව තිබූ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, විශේෂයෙන්ම ප්‍රාථමික සේවා ගණයේ තනතුරු සඳහා බඳවා ගැනීමේදී පවා එවැනි දේශපාලන බලපෑම් පැවති බව සඳහන් කළා.

එම දේශපාලන සංස්කෘතියෙන් බැහැරව රාජ්‍ය සේවයේ සැබෑ මානව සම්පත් අවශ්‍යතා සහ රටේ ආර්ථික හැකියාව සැලකිල්ලට ගනිමින් විධිමත් බඳවා ගැනීම් සිදුකිරීම වත්මන් රජයේ ප්‍රතිපත්තිය බවද අමාත්‍යවරයා අවධාරණය කළා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වගකීම භාරගන්නා අවස්ථාවේ දී ඖෂධ හිඟය මෙන්ම සෞඛ්‍ය සේවාවේ මානව සම්පත් හිඟයද බරපතළ අභියෝගයක්ව පැවැති බව සිහිපත් කළ අමාත්‍යවරයා, ඇතැම් තනතුරු සඳහා වසර හයක හතක කාලයක් තිස්සේ බඳවා ගැනීම් සිදුකර නොතිබූ බව සඳහන් කර සිටියා.

එමෙන්ම, අත්‍යවශ්‍ය සේවා ස්ථාන සඳහා අවශ්‍ය කාර්ය මණ්ඩලය නොලැබීම සෞඛ්‍ය සේවාවේ කාර්යක්ෂමතාවටද බලපෑම් එල්ල කර තිබූ බව ද පැවසුවා.

දිවයිනේ විවිධ රෝහල්වල සිදුකළ නිරීක්ෂණ චාරිකාවලදී වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල හිඟය පිළිබඳව විශාල ඉල්ලීම් ප්‍රමාණයක් ඉදිරිපත් වූ බවත්, එම ගැටලුවට විසඳුම් සෙවීම සඳහා රාජ්‍ය සේවයේ මානව සම්පත් අවශ්‍යතා සමාලෝචනය කර බඳවා ගැනීම් සිදුකිරීමේ විධිමත් ක්‍රමවේදයක් සකස් කිරීමට අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළ බවත් අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

එම ක්‍රියාවලිය යටතේ අවශ්‍ය අනුමැතීන් ලබාගනිමින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ බඳවා ගැනීම් විධිමත්ව ක්‍රියාත්මක කර ඇති අතර, අනුමැතිය හිමිවූ තනතුරු සඳහා අවශ්‍ය බඳවා ගැනීම් මේ වන විට අවසන් කර ඇති බවද අමාත්‍යවරයා අනාවරණය කළා.

එම කාර්යය සාර්ථක කරගැනීම සඳහා කැපවූ සෞඛ්‍ය ලේකම්වරයා ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන්ටද සිය ස්තූතිය පළකර සිටියා.

එමෙන්ම මෙම මාසය අවසන් වීමට පෙර ප්‍රාථමික ශ්‍රේණියේ වෛද්‍ය නිලධාරීන් 1,600ක කණ්ඩායමක් බඳවා ගැනීමට නියමිත බවද අමාත්‍යවරයා සඳහන් කළා.

නව ස්ථිර පත්වීම්ලාභීන්ටද රජය ක්‍රියාත්මක කරන වැටුප් සංශෝධනවල ප්‍රතිලාභ හිමිවන බව සඳහන් කළ අමාත්‍යවරයා, ජනවාරි මාසයේ සිට මූලික වැටුප් වැඩිවීමක්ද, ජූලි මාසයේ සිට දීමනා වැඩිවීමක්ද ලබාදීමට නියමිත බව පැවසුවා.

මේවන විට රාජ්‍ය සේවක වැටුප් ගෙවීම සඳහා පමණක් වාර්ෂිකව රුපියල් බිලියන 900කට ආසන්න මුදලක් වැය වන බව පෙන්වා දුන් අමාත්‍යවරයා, රාජ්‍ය සේවක වැටුප් හා දීමනා ඇතුළු මෙම සියලු වියදම් පියවනු ලබන්නේ ජනතාව ගෙවන බදු ආදායමෙන් බව අවධාරණය කළා.

එබැවින් මහජන මුදල් පිළිබඳ මනා අවබෝධයකින් හා වගකීමකින් යුතුව රාජකාරි ඉටු කිරීම සෑම රාජ්‍ය සේවකයෙකුගේම වගකීමක් බවද පවසා සිටියා.