එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් නඩු තීන්දුව ප්‍රකාරව නීතිපතිවරයා වෙත පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු නොකිරීම සම්බන්ධයෙන් පරිසර යුක්ති කේන්ද්‍රය විසින් නීතිපතිවරයා වෙත එන්තරවාසියක් (Letter of Demand – LOD) යොමු කර තිබෙනවා.
අදාළ නඩු තීන්දුවෙන් ලබාදුන් නියෝග ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර නොගන්නේ නම්, අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් හෝ වෙනත් සුදුසු නීතිමය ක්‍රමවේදයක් ඔස්සේ නීතිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව එම එන්තරවාසිය මඟින් දැනුම් දී තිබෙනවා.
2025 ජූලි 24 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව අනුව නීතිපතිවරයා වෙත පුළුල් වගකීම් රැසක් පවරා තිබූ බව ජනාධිපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ සඳහන් කළා.
එම වගකීම් අතර නෞකා ව්‍යසනය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කිරීම, වගකිවයුතු පාර්ශ්වයන්ට එරෙහිව සුදුසු නීතිමය ක්‍රියාමාර්ග ගැනීම, අදාළ මුදල් අයකර ගැනීම සම්බන්ධයෙන් කටයුතු කිරීම සහ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව අවශ්‍ය අනෙකුත් පියවර ගැනීම ඇතුළත් වන බවද ඔහු පැවසුවා.
කෙසේ වෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නියම කර ඇති එම වගකීම් නිසි පරිදි ඉටු කිරීමට නීතිපතිවරයා මෙතෙක් කටයුතු කර නොමැති බවයි ජනාධිපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ චෝදනා කළේ.
අදාළ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව පිළිබඳව අවස්ථා කිහිපයකදීම නීතිපතිවරයා වෙත සිහිපත් කිරීම් සිදුකර තිබුණද, ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් ක්‍රියාමාර්ග ගෙන නොමැති බවද ඔහු සදහන් කර සිටියා.
ඒ, අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි පරිදි ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස ඉල්ලා පරිසර යුක්ති කේන්ද්‍රය මෙම එන්තරවාසිය යොමු කර තිබෙනවා.
එම ලිපිය ලැබුණු දින සිට දින 14ක් ඇතුළත අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති පියවර, තවදුරටත් ඉටු කිරීමට ඉතිරිව ඇති කාර්යයන් සහ ඒවා ක්‍රියාත්මක කිරීමේදී සිදුව ඇති ප්‍රමාදයන්ට හේතු පිළිබඳව ලිඛිත පැහැදිලි කිරීමක් ලබාදෙන ලෙසද නීතිපතිවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
අදාළ කාලසීමාව තුළ නීතිපතිවරයා විසින් අවශ්‍ය පියවර නොගන්නේ නම්, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා සුදුසු අධිකරණ නියෝග ලබාගැනීමටත්, අවශ්‍ය පරිදි නීතිපතිවරයාට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ආරම්භ කිරීමටත් කටයුතු කරන බවයි පරිසර යුක්ති කේන්ද්‍රය අවධාරණය කර ඇත්තේ.
එක්ස්ප්‍රස් පර්ල් නෞකා ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍රීය පරිසරයට සිදුවූ හානිය සම්බන්ධයෙන් වගකිවයුතු පාර්ශ්වයන් නීතිය ඉදිරියට ගෙන ඒම සහ අදාළ අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය බව ජනාධිපති නීතිඥ රවීන්ද්‍රනාත් දාබරේ වැඩිදුරටත් සඳහන් කරනවා.
ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවක් ක්‍රියාත්මක කිරීමේ වගකීමෙන් කිසිදු රාජ්‍ය නිලධාරියෙකුට බැහැර විය නොහැකි බවත්, එම තීන්දුවේ නියෝග නිසි පරිදි ක්‍රියාත්මක කරවා ගැනීම සඳහා පරිසර යුක්ති කේන්ද්‍රය අඛණ්ඩව නීතිමය පියවර ගන්නා බවත් ඔහු අවධාරණය කළා.










