බෙංගාල බොක්කේ වර්ධනයවන කැළඹිලි ස්වභාවයෙන් ලබන 15,16 සහ 17 දිනයන්වල වැස්සේ වැඩිවීමක්

ගිනිකොන දිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ කැළඹිලි ස්වභාවයක් හෙට (11) දිනය පමණවන විට වර්ධනයවන බව
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසනවා.

අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසන්නේ එම කැළඹිලි ස්වභාවය ඉන් අනතුරුව අඩු පීඩන කලාපයක් සහ පීඩන අවපාතයක් දක්වා වර්ධනයවීමේ හැකියාව පවතින බවයි.

කෙසේ වෙතත් මෙම පද්ධතියේ බලපෑම මත එළඹෙන 15, 16 සහ 17 යන දිනයන්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරන බවයි ඔහු සඳහන් කළේ.

විශේෂයෙන් උතුරු, උතුරුමැද, නැගෙනහිර පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේ.

එමෙන්ම එම අඩු පීඩන කලාපය පීඩන අවපාතයක් දක්වා වර්ධනය වුවහොත් එය නැගෙනහිර වෙරළ ප්‍රදේශයෙන් උතුරු දෙසට ගමන් කරනු ඇති බවයි ඔහු සඳහන් කර සිටියේ.

එසේ වුවහොත් එහි බලපෑම මෙරටට තදින් දැනෙනු ඇති බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා, ඉදිරියේ දී ඒ පිළිබදව අවධානයෙන් පසුවී අනතුරු ඇඟවීම් නිකුත් කරන බවයි පැවසුවේ.