පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමි නිකායෙන් නෙරපයි

පූජ්‍ය කැකිරාවේ සුදස්සන හිමි මහා විහාරවංශික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායෙන් නෙරපා හැරීමටත්, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායට අයත් භික්ෂුවක් ලෙස නීත්‍යානුකූලව ලියාපදිංචි කොට ඇති සාමණේර, උපසම්පදා භික්ෂු ලියාපදිංචිය අවලංගු කිරීමටත් කටයුතු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා.

ඒ, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාට කළ දැනුම් දීමකට අනුවයි.

සම්ප්‍රදායික ථේරවාදී බුදුදහමේ මූලධර්ම සහ අටුවා විග්‍රහයන්ට පටහැනි අදහස් සමාජගත කිරීමේ චෝදනාවට ලක් වූ කැකිරාවේ සුදස්සන හිමියන්ගේ නිකායික සාමාජිකත්වය වහාම ක්‍රියාත්මක වන පරිදි අහෝසි කිරීමට ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා සංඝ සභාව තීරණය කර ඇති බවට මීට ඉහත තොරතුරු වාර්තා වුණා.

නිකායේ විනය කමිටුව සහ කාරක සංඝ සභාව එක්ව සිදුකරන ලද විශේෂ විනය පරීක්ෂණයකින් අනතුරුව මෙම තීරණය තිබෙනවා.