ගිගුරුම් සහිත වර්ෂාව සමඟින් ප්‍රබල අකුණු තත්වයක් ගැන පූර්ව නිවේදනයක්

අද සවස්වරුවේ බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, උතුරු සහ උතුරු මැද පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ට වැඩි තද වැසි ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

දිවයිනේ බෝහෝ ප්‍රදේශවල ගිගුරුම් සහිත වර්ෂාපතනයක් සමඟින් ප්‍රබල අකුණු තත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද සවස 1.00 සිට 10වැනිදින අළුයම 01.00 දක්වා බලපැවැත්වෙන පරිදි නිකුත්කර තිබෙන මාධ්‍ය නිවේදනයක ඒ බව සඳහන් කර තිබෙනවා.

ඒ අනුව පහත සඳහන් ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතිනවා.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශ වල තාවකාලිකව පැයට කිලෝ මීටර් 60–70 ක පමණ තද සුළං සහ ඉතා රළු මුහුදු තත්ත්වයක් ඇති විය හැකි බවටත් එම නිවේදනය මගින් අනතුරු අඟවනවා.

ඒ වගේම අනුරාධපුර, කළුතර, කෑගල්ල, කිලිනොච්චි , කුරුණෑගල, කොළඹ, ගම්පහ, ගාල්ල, ත්‍රිකුණාමලය, නුවරඑලිය, පුත්තලම, පොළොන්නරුව, බදුල්ල, මන්නාරම, මහනුවර, මාතර, මාතලේ , මුලතිව්, මොනරාගල, යාපනය, රත්නපුර, වව්නියා දිස්ත්‍රික්කවල සියළුම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ගිගුරුම් සහිත වර්ෂාපතනයක් සමඟින් ප්‍රබල අකුණු තත්වයක් ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවැකි පළකරනවා

ඊට අමතරව අම්පාර දිස්ත්‍රික්කයේ පදියතලාව ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය, මඩකලපු දිස්ත්‍රික්කයේ කෝරලපත්තුව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුණුකොළපැලැස්ස, අම්බලන්තොට, ඕකෙවෙල, කටුවන, තංගල්ල, බෙලිඅත්ත, ලුනුගම්වෙහෙර, වීරකැටිය, සූරියවැව, හම්බන්තොට යනාදි ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවල ට ද එම තත්වය බලපෑ හැකි බවටත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

එම වාතාවරණය හේතුවෙන් අපේක්ෂිත හානිය ලෙස නිතර අකුණු, කෙටිකාලීන තද සුළං සහ තද වැසි සහිත ගිගුරුම් සහිත වර්ෂාපතනය, ගොවිබිම්, වතු, ක්‍රීඩා පිටි, වෙරළ සහ බෝට්ටුවල වැනි විවෘත ස්ථානවල සිටින අයට තුවාල හෝ මරණ අවදානම , ගස් මුලින් උදුරා වැටීම සහ තහඩු සහ පොල් අතු වහල ඇතුළුව ඉංජිනේරුමය නොවන නිවාසවල වහලවලට හානි සිදුවීම, අවදානම් ප්‍රදේශවල ක්ෂණික ගංවතුර සහ බෑවුම් කඩා වැටීම්, විදුලි සහ සන්නිවේදන කටයුතු සදහා බාධා සහ විදුලි උපකරණවලට හානිවීම, බෝග, වතු සහ සත්ව පාලනයට හානි සිදුවීම, කුඩා ධීවර බෝට්ටු සහ යාත්‍රා සඳහා අනතුරුදායක තත්ත්වයන් ඇතිවීම, මාර්ග, දුම්රිය සහ ගුවන් ප්‍රවාහනයට බාධා ඇතිවීම යනාදි හානි සිදුවිය හැකි බවටත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

මෙම තත්වයෙන් ඇතිවන හානිවලින් වැළකීම සඳහා, ගිගුරුම් සහිත වැසි ළඟා වන විට ගොවිතැන් කටයුතු සහ වතු වැඩ, එළිමහන් ක්‍රීඩා සහ ඉදිකිරීම් නවත්වන මෙන්ද , ශක්තිමත් ගොඩනැගිල්ලක් හෝ සම්පූර්ණයෙන් වසා ඇති, ශක්තිමත් වහලයක් සහිත
වාහනයක් තුළට පිවිසෙන මෙන් ද, ගස්, විවෘත පැල්, කූඩාරම් හෝ බස් නැවතුම්පොළවල් යට රැකවරණය නොගන්නා මෙන් ද, විවෘත කෙත්වතු, කඳු මුදුන්, වෙරළ, වැව්, ගංගා සහ අනෙකුත් ජල ප්‍රභව භාවිතයෙන් වළකින ලෙසද, ධීවරයින් සහ කුඩා බෝට්ටු ක්‍රියාකරුවන් මුහුදට නො යා යුතු අතර මුහුදේ සිටි නම් වෙරළට පැමිණිය යුතු බවට ද, ගිගුරුම් අතරතුර රැහැන් සහිත දුරකථන භාවිතා කිරීම සහ විදුලි උපකරණ භාවිතයෙන් වළකින ලෙසද, ගස් සහිත මාර්ග සහ ජලයෙන් යටවූ මාර්ග හරහා ගමන් කිරීමෙන් වළකින මෙන් ද , ගං වතුර අනතුරු ඇඟවීම් සහ නායයෑම් අනතුරු ඇඟවීම් අනුගමනය කරන ලෙසත්, සතුන්, බෝග සහ දේපළ ආරක්ෂා කරගැනීමට කටයුතු කරන ලෙසින් ද, අවශ්‍ය වුවහොත් ආරක්ෂිත රැකවරණ ස්ථානයකට යාමට සූදානම්ව සිටින ලෙසත් නිර්දේශිත ක්‍රියාමාර්ග ද නිවේදනය කර තිබෙනවා.