හෝමගම, ගොඩගම ප්‍රදේශයේ මංගලෝත්සව ශාලාවක පැවැති විවාහ මංගල්‍ය අවස්ථාවකට සහභාගී වූ තරුණයින් දෙපිරිසක් අතර ඇති වූ ගැටුමකින් පසු තරුණයෙකු මියයාම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කල තරුණයින් 10 දෙනෙකු ලබන 17 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස හෝමගම වැඩබලන මහේස්ත්‍රාත් වාසනා දෙල්පචිත්ර මහත්මිය නියෝග කළා.
මෙලෙස බන්ධනාගාර ගත කරන ලද්දේ කිරිවත්තුඩුව, මූණමලේවත්ත ප්‍රදේශයේ පදිංචි තරුණයින් 10 දෙනෙක්.
අදාළ විවාහය පැවැති ශාලාවේදී ඇති වූ බහින්බස් වීමකින් පසු එම ශාලාවෙන් පිටතට පැමිණි තරුණයින් 20 කට පමණ ආසන්න පිරිසක් අතර මෙම ගැටුම ඇති වී බව එම උත්සව ශාලාවේ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කිරීමේදී අනාවරණය වූ බවත් එම දර්ශන මගින් හදුනා ගත් සැකකාරුවන් මෙලෙස අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කළ බවත් මීගොඩ පොලිසිය පැවසුවා.
මෙලෙස මියගොස් ඇත්තේ කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අමරතුංග ආරච්චිගේ දුෂාන්ත මධුසංඛ අමරතුංග නැමැති 34 හැවිරිදි පෞද්ගලික බස් රථ හිමිකරුවෙක්.
ඝාතනයට ලක් වූ බවට සැකකරන තරුණයාගේ දේහය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය පනීත සෙනෙවිරත්න විසින් සිදුකළ අතර එහිදී විවෘත තීන්දුවක් ලබා දී තිබුණු අතර ශරීර කොටස් රජයේ රස පරීක්ෂකවරයා වෙත යැවීමටද නියෝග කර තිබෙනවා.
