Update-අඟුරුවාතොට ඝාතනයට හේතුව මත්පැන් සාදයකදී ඇතිවු බහින්බස් වීමක්

අඟුරුවාතොට පොලිස් වසමේ බටගොඩ ප්‍රදේශයේ නිවසක් තුල තියුණු ආයුධයකින් පහර දීම හේතුවෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීමේ සිද්ධියට හේතුව මත්පැන් සාදයකදී ඇති වූ බහින්බස් වීමක් බවට වාර්තාවෙනවා.

බටගොඩ ප්‍රදේශයේ නිවසක ඊයේ සවස පැවැති මත්පැන් සාදයක් අවසානයේ කඩුවකින් පහරදී පුද්ගලයකු ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

මියගිය පුද්ගලයා ඇතුළු තිදෙනෙක් බටගොඩ නිවසෙහි මත්පැන් සාදයක් පවත්වා ඇති අතර, ඉන් මද වෙලාවකට පසු මියගිය පුද්ගලයා සිය ජංගම දුරකථනයෙන් සැකකරුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගෙන පරුෂ වචනයෙන් බැන වැදී ඇතිබව වාර්තාවෙනවා.

එම අවස්ථාවේ සැකකරුද ඔහුගේ නිවසේ මත්පැන් පානය කරමින් සිට තිබෙනවා.

ඒ සමගම සැකකරු ඔහුගේ ත්‍රීරෝද රථයෙන් කඩුවක් රැගෙන තිදෙනා එකතුව මත්පැන් පානය කරන නිවසට පැමිණ ඇති අතර එහිදී බහින්බස්වීම දුරදිග යාමෙන්, ජීවිතක්ෂයට පත් පුද්ගලයාගේ පපු ප්‍රදේශයට දියුණු ආයුධ පහර වැදී ඇති අතර ඒ සමගම බිම ඇදවැටී තිබෙනවා.

කඩුපහරින් තුවාල ලැබු පුද්ගලයා, සැකකරු විසින්ම ඔහුගේ ත්‍රීරෝද රථයෙන් ගල්පාත රෝහලට රැගෙන ගොස් ඇති අතර, ගල්පහත රෝහලින් හොරණ රෝහලට මාරු කරන අතරතුරදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචි මාර්ග ප්‍රකාශ කරනවා.

පානදුර අපරාධ කොට්ඨාස පරීක්ෂණාගාර නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර ඇති අතර හොරණ වැඩ බලන මහේස්ත්‍රාත් ස්ථානය පරීක්ෂණය සිදු කරන තිබෙනවා.

අගුරුවාතොට පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි