ඊයේ වැඩිම වැස්ස තිඹිරිගස්යායට – කොළඹ යටවෙන එකට විසඳුම් සොයන්න හදිසියේම විශේෂ සාකච්ඡාවක්

ගතවූ පැය 24ක කාලය තුළ වැඩිම වර්ෂාපතනය තිඹිරිගස්යාය ප්‍රදේශයෙන් වාර්තා වී තිබෙනවා.

එම අගය මිලි මීටර් 146.60ක් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේ.

එමෙන්ම මට්ටක්කුලිය ප්‍රදේශයෙන් මිලිමීටර් 125.50ක වර්ෂා පතනයක් වාර්තා වී අතර, බෝපාගම ප්‍රදේශයට මිලිමීටර් 117.60 වර්ෂාපතනයක් වාර්තා වී තිබෙනවා.

එමෙන්ම නාවලපිටිය ප්‍රදේශයට මිලිමීටර් 16.60ක් සහ මෝල්කාව ප්‍රදේශයට මිලිමීටර් 111.40ක වර්ෂාපතනයක් වර්තා වී ඇති බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ.

මේ අතර කොළඹ ප්‍රදේශයට ඊයේ (06) පස්වරුවේ ඇදහැලුනු අධික වර්ෂාපතනය හේතුවෙන් මාර්ග, සහ ආර්ථික ස්ථාන රැසක් ජලයෙන් යට වුණා.

ඒ, හේතුවෙන් ඇතැම් මාර්ගවල රථවාහන ධාවනයක ද බාධා එල්ල වූ අතර, කොළඹ ජාතික රෝහල ඇතුළු ස්ථාන රැසක කටයුතුවලට ද බාධා එල්ල වී තිබූ ආකාරය දැකගත හැකි වුණා.

මේ අතර කොළඹ නගරය වැසි ජලයෙන් යටවීමේ ගැටලුවට කඩිනම් විසඳුම් සෙවීම සඳහා විශේෂ සාකච්ඡාවක් අද (07) දිනයේ කොළඹ පුරපතිනියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

මේ අතර රාජාංගනය, අඹේවෙල, අලිකොට ආර, දැදුරු ඔය, බඳගිරිය, උඩවලව, යෝධ වැව සහ කලා වැව යන ජලාශවල වාන් දොරටු විවෘත කර ඇති බව දැනුම් දෙනවා.

එබැවින් අදාළ පහළ ප්‍රදේශවල ජල මට්ටම් පිළිබඳ අවධානයෙන් පසුවන ලෙසයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙන්නේ.