Update – මාදිවෙල නිවසක පයිප්ප බට අස්සෙන් හමු වූ මත්ද්‍රව්‍ය තොගය ගැන තොරතුරු හෙළිවෙයි

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය මඟින් මාදිවෙල ප්‍රදේශයේ නිවසක සඟවා තිබිය දී සොයාගැනුණු මත්ද්‍රව්‍ය පිළිබඳ තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණය කර ගැනීමට හැකිව තිබෙනවා.

ඊයේ (06) රාත්‍රියේ සිදුකළ මෙම වැටලීමේ දී හෙරොයින් කිලෝග්‍රෑම් 03යි ග්‍රෑම් 649ක්, අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 02යි ග්‍රෑම් 109ක් සහ කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 558ක් සිය ගැනීමට හැකි වුණා.

මාදිවෙල, මණ්ඩල පාර ප්‍රදේශයේ පිහිටි නිවසක සඟවා තිබිය දී මේවා සොයාගැනුණු අතර, එහිදී වයස අවුරුදු 25ක තරුණයෙක් ද අත්අඩංගුවට ගැනුණා.

මෙම සැකකරු විසින් අදාළ මත්ද්‍රව්‍ය තොගය නිවසේ පොළව යට පයිප්ප බට අස්සේ සූක්ෂම ලෙස සකස් කළ රහස් ස්ථානවල තැනින් තැන සඟවා තිබිය දී පොලිස් නිලධාරීන්ට මෙලෙස සොයාගැනීමට හැකිව තිබෙනවා.

මෙලෙස සොයාගත් මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් කෝටි ගණනක් වන අතර, මෙම මත්ද්‍රව්‍ය තොග වශයෙන් රාත්‍රී සමාජශාලා වලට සහ ජාවාරම්කරුවන්ට අලෙවි කර ඇති බවට විමර්ශන වලදී හෙළිව තිබෙනවා.

සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී පාපොච්චාරණය කර ඇත්තේ, තමන් සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන “බත්තරමුල්ලේ බන්ටි” නැමැත්තාගේ ගෝලයෙක් බවයි.

සැකකරු මේ වන විට බස්නාහිර පළාත උතුර දිසාව අපරාධ කොට්ඨාසය භාරයේ රඳවාගෙන සිටින අතර, ඔහු අද (07) දින ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.