පලාගල ‘හස්ති සේනා’ වැටලීමකදී වන සතුන් දඩයම් කිරීමේ උපකරණ සහ මස් තොගයක් සොයාගනී

වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී දඩයම් ක්‍රියාකාරකම් මැඩපැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක වන ‘හස්ති සේනා’ මෙහෙයුම යටතේ කැකිරාව, පලාගල ප්‍රදේශයේ සිදුකළ විශේෂ වැටලීමකදී වන සතුන් දඩයම් කිරීම සඳහා භාවිත කරන උපකරණ රැසක් සහ දඩයම් කරන ලද සතුන්ගේ මස් තොගයක් සොයාගෙන තිබෙනවා.

මෙම වැටලීමේදී එක් ස්ථානයක තිබී දඩයම් උපකරණ සමඟ මස් කිලෝග්‍රෑම් 1.5ක් සොයාගෙන ඇති අතර, තවත් ස්ථානයක තිබී බඳින තුවක්කුවක් සහ මස් කිලෝග්‍රෑම් 1.5ක් සොයාගත් බවයි පරිසර අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

එමෙන්ම, කෑස් තුවක්කු දෙකක් (Cap Guns), බඳින තුවක්කු සඳහා යොදාගන්නා කඳන් පහක් සහ වෙඩි බෙහෙත් කොටන උපකරණ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.

තවත් ස්ථානයක සඟවා තිබූ කම්බි මදු 27ක් සොයාගෙන ඉවත් කිරීමටද කටයුතු කිරීමටයි කටයුතු කර ඇත්තේ.

වන අලි ඇතුළු සියලු වන සතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ නීතිවිරෝධී දඩයම් ක්‍රියාකාරකම් මැඩපැවැත්වීම අරමුණු කරගනිමින් ‘හස්ති සේනා’ මෙහෙයුම යටතේ දිවයින පුරා වැටලීම් හා සෝදිසි මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.