අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළා.
අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකිරීමෙන් පොලිස්පතිවරයා අධිකරණය හෑල්ලුවට ලක් කොට ඇති බවට තීරණය කරමින් මහේස්ත්‍රාත්වරයා එලෙස ඉල්ලා සිටියා.
පොලිස්පතිවරයා විසින් අධිකරණය විසින් දෙනු ලැබූ නියෝග ඉටු නොකළ බවට තීරණය කරමින් පොලිස්පතිවරයාට එරෙහිව අවශ්‍ය පියවර ගැනීම සඳහා ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් විසින් පුද්ගලයෙකුට එරෙහිව බොරුවට පැවරූ නඩු ගොනු අභියාචනාධිකරණයට යැවීමට මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා අධිකරණය රෙජිස්රාර්වරයාට නියම කරනු ලැබුවා.
මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් බවට බොරුවට නඩු පැවරූ පුද්ගලයෙකුට රුපියල් ලක්ෂ දෙකක වන්දියක් ගෙවීමට ගම්පහ දූෂණ මර්දන අංශයේ පොලිස් නිලධාරීන් තිදෙනකුට සහ පොලිස් දෙපාර්තමේන්තුවට ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා මීට පෙර අවස්ථාවක නියම කර තිබූ අතර, එසේ නොවන්නේ නම් අහිංසක රටවැසියන්ට එරෙහිව නිස්සාරණ නඩු පැවරීමක් නොකරන ලෙසට සමස්ත පොලිස් නිලධාරීන් ම ආවරණය වන අන්දමට චක්‍ර ලේඛනයක් නිකුත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා මීට පෙර අවස්ථාවක පොලිස්පතිවරයාට නියම කර තිබුණා.
දෙවොලපොල, මාකන්දන පදිංචි චාමර චතුරංග මාරසිංහ නැමැත්තාට එරෙහිව ගම්පහ දූෂණ මර්දන කොට්ඨාසය විසින් නඩු පවරා ඇත්තේ නිස්සාරණ අන්දමින් බවට මීට පෙර අවස්ථාවක තීරණය කළ මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කරනු ලැබුවා.
2026 මැයි 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අස්ගිරිය හන්දියේදී අයිස් මිලිග්‍රෑම් 130ක් සහ හෙරොයින් මිලිග්‍රෑම් 500ක් ළඟ තබා ගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් විසින් චාමර චතුරංග මාරසිංහ නැමැත්තා ට එරෙහිව නඩුවක් පවරා තිබූ අතර, එහි සාක්කිකරුවන් වශයෙන් ගම්පහ දූෂණ මර්දන කොට්ඨාශයේ පොලිස් සැරයෙන් 12614 සෙනවිරත්න සහ කොස්තාපල් 24728 දිල්ෂාන් නැමැත්තන් නම්කොට තිබුණා.
2026 මැයි 06 වැනිදා හෝ ඊට ආසන්න දිනයක ගම්පහ දී අයිස් මිලිග්‍රෑම් 130ක් ළඟ තබාගත් බවට ගම්පහ දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තෙන්නකෝන් විසින් චාමර චතුරංග මාරසිංහ නැමැත්තාට එරෙහිව තවත් නඩුවක් පවරා තිබූ අතර, එහි සාක්කිකරුවන් වශයෙන් ගම්පහ දූෂණ මර්දන කොට්ඨාශයේ පොලිස් පරීක්ෂක බණ්ඩාරනායක සහ කොස්තාපල් 24728 දිල්ෂාන් නැමැත්තන් නම්කොට තිබුණා.
විත්තිකාර චාමර චතුරංග නැමැත්තාට එරෙහි ව මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් එක් නඩුවක් කැඳවනු ලැබූ අවස්ථාවේ දී ඔහු අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීම නිසා ඔහුට දඩයක් නියම කෙරුණු අතර, තවත් සුළු මොහොතකින් ඔහුට එරෙහිව මත්ද්‍රව්‍ය ළඟ තබාගැනීම සම්බන්ධයෙන් තවත් නඩුවක් කැඳවා තිබෙනවා.
දෙවන නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී එකම පුද්ගලයෙකුට එරෙහිව එකම දින නඩු දෙකක් පවරා ඇති බව නිරීක්ෂණය කළ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා රටවැසියන්ට පීඩාකාරී වන අන්දමින් නඩු පැවරීම සම්බන්ධයෙන් එම නඩුවල සාක්කිකරුවන්ට සහ ඉහළ නිලධාරීන්ට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 (1) යටතේ කටයුතු නොකළ යුත්තේ මන්දැයි විමසීම සඳහා අදාළ නිලධාරීන් අධිකරණයට කැඳවුවත් ඔවුන් කිසිවෙකුත් අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.
නඩුව කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි පොලිස් සැරයෙන් 30533 ගයාන් කරුණු දක්වමින් මෙම වැටලීම කළ දින මෙම විත්තිකරු සමඟ තවත් පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවට ගත් හෙයින් මෙම විත්තිකරුට එරෙහිව චෝදනා වැරදි ලෙස ගොනුකර ඇති හෙයින් චාමර චතුරංග මාරසිංහ නැමැත්තාට එරෙහිව පවරා ඇති නඩු දෙකෙන් 01743 දරණ නඩුව ඉල්ලා අස්කර ගන්නා බව ද 01744 දරණ නඩුව පවත්වාගෙන යෑමට අවසර දෙන්න ලෙස ද ඉල්ලා සිටියා.
කරුණු සලකා බැලීමෙන් අනතුරුව පොලිසිය වැටලීම් කළ යුත්තේ වැටිලීමේදී අත්අඩංගුවට ගන්නා පුද්ගලයින්ට එරෙහිව අධිකරණයක් හමුවේ සාක්කි දී ඔවුන් වරදකරුවන් බව පෙන්වීම සඳහා හේතු සහිතව බව අවධාරණය කළ මහෙස්ත්‍රාත්වරයා මෙම විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩුවේ සාක්කිකරුවන් වශයෙන් පොලිස් නිලධාරීන් තිදෙනෙකු නම් කිරීම මගින් විත්තිකරු නඩු විභාගයකදී වරදකරු කිරීමේ අරමුණින් යුතුව නඩු පවරා ඇති බව පැහැදිලි වන්නේ යැයි ද ඒ අනුව
පොලිසියේ ඉල්ලීම පිළිගැනීමට නොහැකි බව සඳහන් කරමින් ඉල්ලීම ප්‍රතික්ෂේප කළා.
පොලිසිය විශාල වශයෙන් මත්ද්‍රව්‍ය නඩු පවරනු ලැබූවත් එම නඩුවල ඇති මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් සැලකිල්ලට ගැනීමේ දී පොලිසිය සඳහන් කළ ප්‍රමාණයට වඩා ඉතාම අඩු මත්ද්‍රව්‍ය ප්‍රමාණයන් හි අඩංගු බව රජයේ රස පරීක්ෂකවරයාගේ වාර්තා සැලකිල්ලට ගැනීමේ දී පෙනී යන්නේ යැයි සඳහන් කළ මහේස්ත්‍රාත්වරයා රස පරීක්ෂකවරයාට යවනු ලැබූ ඇතැම් නඩු භාණ්ඩවල මත්ද්‍රව්‍ය ඉතාම සුළු ප්‍රමාණයන් අඩංගු බව මෙන්ම ඇතැම් නඩු භාණ්ඩවල කිසිදු මත්ද්‍රව්‍යයක් අනාවරණය නොවන අවස්ථා ද ඇතැයි අවධාරණය කළා.
මත්ද්‍රව්‍ය වැටලීම් වැඩි කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව උපදෙස් දී ඇත්නම් උපදෙස් ක්‍රියාත්මක කරනු ලබන්නේ ඉතාම අවිධිමත් ලෙස බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එක් මාසයකදී ගන්නා නඩු ප්‍රමාණයට වඩා වැඩි නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු බවට අණකර එමගින් පොලිසියේ හා නිලධාරීන්ගේ ප්‍රගතිය සලකා බැලීම නිරන්තරයෙන් සිදුවූවත් එමගින් පොලිසියේ හෝ නිලධාරීන්ගේ ප්‍රගතිය සලකා බැලීමට කිසිදු හැකියාවක් නැතැයි ද පෙන්වා දුන්නා.
සැබැවින්ම පොලිස් දෙපාර්තමේන්තුව කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා අපරාධ වැටලීම් කරන්නේ නම් එක් මාසයකදී ගත් නඩු ප්‍රමාණයට වඩා අඩු නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී වාර්තා විය යුතු බව පෙන්වා දුන් මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා ප්‍රදේශයේ නඩු වැඩිවීම යනු සැබවින්ම එම ප්‍රදේශය භාර පොලිසියේ අකාර්යක්ෂමතාවය විදහා පෙන්වන්නක් බවද අවධාරණය කර සිටියා.
එක් මාසයකදී ගත් නඩු ප්‍රමාණයට වඩා වැඩි නඩු ප්‍රමාණයක් ඊළඟ මාසයේදී ගත යුතු බවට පොලිසියේ ඉහළ නිලධාරීන් විසින් එහි පහළ නිලධාරීන්ට අණ කිරීම මගින් තවත් වසර පහක කාලයක් ගතවන විට පොලිසියට නඩු පවරීම සඳහා ලංකාවේ ජනගහනය මදි වීමට ඉඩ ඇති බවද මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා පෙන්වා දුන්නා.
ඇතැම් අවස්ථාවල අධිකරණයේ අභිමතය සීමා කිරීමේ උපක්‍රමයක් වශයෙන් පොලිසිය අන්තරාදායක ඖෂධ පනතේ 54 වගන්තිය උපයෝගී කරගන්නා බව අධිකරණයේ මතය බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙහි අවසාන ප්‍රතිඵල පොලිස් නිලධාරීන් කෙරෙහි අධිකරණයට ඇති විශ්වාසය පලුදු වීම බවද පෙන්වා දෙනු ලැබුවා.
මෙම ක්‍රමවේදය පිළිබඳව පොලිසියේ ඉහල නිලධාරීන්ගේ අවධානය වහාම යොමු කර එම ක්‍රමවේදය වහාම වෙනස් කළ යුතු බව ව අවධාරණය කළ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා මේ සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා ගම්පහ ජේෂ්ඨ පොලිස්ස අධිකාරීවරයා අධිකරණයට කැඳවා ඇතත් ඔහු අධිකරණයේ පෙනී නොසිටීම මගින් ඔවුන් අධිකරණයේ කටයුතු පිළිබඳ දැඩි නොසැලකිලිමත් බවකින් කටයුතු කරන බවක් පෙනී යන්නේ යැයි ද සඳහන් කළා.
මෙම නඩුවේ විත්තිකරුට එරෙහිව පීඩාකාරී අන්දමින් නඩු පැවරීම පිළිබඳව අපරාධ නඩු විධාන සංග්‍රහයේ 17 (1) වගන්තියේ යටතේ කටයුතු නොකළ යුත්තේ මන් ද? යන්න පිළිබඳ පොලිසිය විසින් ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර නොමැති බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා විත්තිකරුට එරෙහිව පවරා ඇති නඩු දෙකේ වැටලීම කළ බව පවසමින් සාක්කිකරුවන් වශයෙන් නම්කර ඇති පොලිස් නිලධාරීන් විසින් ඔහුට රුපියල් 25,000 බැගින් වන්දි ගෙවීමට නියම කර සිටියා.
විෂ වර්ග සහ අබිං අන්තරාදායක ඖෂධ පිළිබඳ පනත යටතේ අයකර ගනු ලබන දඩ මුදල් වලින් විශාල මුදල් ප්‍රමාණයක් පොලිස් තෑගි අරමුදලට බැර කරනු ලබන බව පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා මෙවැනි ආකාරයේ නිස්සාරණීය ලෙස නඩු පැවරීම්වලදීත් එම අරමුදල භාවිත කළ යුතු බවද තීරණය කළා.
ඒ, අනුව විත්තිකරුට එරෙහිව නිස්සාරණීය ලෙස පවරා ඇති එක් නඩුවකට රුපියල් පනස් දහස බැගින් නඩු දෙකට රුපියල් ලක්ෂයක වන්දි මුදලක් ගෙවීමට නියම කළ මහේස්ත්රාත්වර,යා ඒ සඳහා මෙම නඩුවේ පිටපතක් පොලිස්පතිවරයාට යැවීමටද නියම කරනු ලැබුවා.
පොලිස් නිලධාරීන්ගේ වැරදි පුරුදු සම්බන්ධයෙන් අවධානය යොමු කරවීමේ අරමුණින් මෙම නියෝගය දෙන ලද බව අවධාරණය කළ මහේස්ත්‍රාත්වරයා මෙම නිලධාරීන් කිසිදු විනය ක්‍රියාමාර්ගයකට යටත් නොවිය යුතු බවද අවධාරණය කළා.
මෙම පොලිස් නිලධාරීන් කිසියම් හෝ විනය ක්‍රියාමාර්ගයකට යටත් කරන්නේ නම් මෙවැනි ආකාරයෙන් වැටලීම් කරන ලෙසට ඔවුන්ට උපදෙස් දී ඇති ඉහළ සිට සියලුම පොලිස් නිලධාරීන් ගකීමට යටත් කළ යුතු බවද මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.
මෙම සිද්ධියෙන් පසු අවස්ථාවක ගම්පහ ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු අධිකරණයට පැමිණ කළ ඉල්ලීමකට අනුව රටේ අහිංසක මිනිසුන්ට එරෙහිව නිස්සාරණ ලෙස නඩු පැවරීමට පොලිස් නිලධාරීන්ට බල නොකරන ඇන්ද මින් චක්‍රලේඛනයක් නිකුත් කිරීමට නියම කරමින් ඒ සඳහා පොලිස්පතිවරයාට කල් ලබාදීමක් ද සිදු කෙරුනා.
ඒ සඳහා මෙම නඩුව මීට පෙර අවස්ථා දෙකකදී කැඳවන ලද නමුත් විවිධ හේතූන් මත එම කටයුත්ත කිරීමට නොහැකි වූ බව දැනුම් දෙමින් පොලිස් නිලධාරීන් නඩුව සඳහා දින ලබා ගෙන තිබුණා.
ඒ, අනුව නඩුව අද දිනයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී පොලිස් දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් පොලිස් නීති කොට්ඨාශයේ නීතිඥවරුන් වන පොලිස් පරීක්ෂක කෞෂික පෙරේරා සමඟ ප්‍රධාන පොලිස් පරීක්ෂ ප්‍රණීත ජයවර්ධන පෙනී සිටිමින් ගම්පහ කැලණිය සහ මීගමුව පොලිස් කොට්ඨාශවල නිලධාරීන් අමතමින් බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් 2026 ඔක්තෝබර් 19 වෙනිදා නිකුත් කරන ලද මාර්ගෝපදේශ මාලාවක් අධිකරණයට ඉදිරිපත් කළා.
අදාළ මාර්ග උපදේශ මාලාව ඉතා සැලකිල්ලෙන් කියවා බැලූ හේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා මේක මාව අන්දන්න කරන දෙයක් යනුවෙන් විවෘත අධිකරණයේදී පැවසුවා.
මහේස්ත්‍රාත්වරයා – මං නියෝග දීලා තියෙන්නේ කාටද
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා – පොලිස්පතිවරයාට.
මහේස්ත්‍රාත්වරයා – එතකොට මේ ලියුම කාගෙද
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා – බස්නාහිර පළාත උතුර භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ.
මහේස්ත්‍රාත්වරයා – මේක හරියට බල්ලගේ වැඩේ බූරුවාට භාරදීමක් වගේ. මුළු ලංකාවේම ඉන්න සියලුම පොලිස් නිලධාරීන් ආවරණය වන පරිදි චක්‍රලේඛනයක් නිකුත් කරන්න කීවාම. පළාතෙන් පළාතේ ඉන්න පොලිස් නිලධාරීන්ට වෙන වෙනම උපදෙස් පත්‍රිකා නිකුත් කරහම හරි යනවාද ? මේ සිද්ධියම වෙන පළාතක සිද්ධ වුනොත් ඒ පළාතේ ඉන්න පොලිස් නිලධාරියට වෙනම උපදෙස් පත්‍රිකාවක් නිකුත් උපදෙස් පත්‍රිකාවක් නිකුත් කරනව ද ?
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා – වැටලීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවම ආවරණය වන පරිදි චක්‍රලේඛනයක් නිකුත් කිරීම සඳහා බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා සමග දීර්ඝ සාකච්ඡාවක් කළා.
මහේස්ත්‍රාත්වරයා – රෑට හීනෙන් දකින දේවල්වලට පහුවෙනිදා උදේ චක්‍රලේඛන නිකුත් කරන රටේ මේ වගේ දේකට අදාළව චක්‍රලේඛනයක් නිකුත් කරන්නයි කියලා අධිකරණයෙන් නියෝගයක් දුන්නහම තමයි ඒක කරන්න බැරි ?
“උසාවි නියෝගයකටත් පොලිසිය මෙහෙම නම් සලකන්නේ රටේ අනිත් දේවල් ගැන කවර කතාද
යම් අපරාධයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශනය කරන විටත් කරන්නේ මේ ටිකම තමයි පාර්ශ්ව කාර්යයන්ට නඩුව එපා වෙනකන් අදිනවා, සාක්කිකාරයන්ට සිද්ධිය අමතක වෙනකන් නඩු පවරන්නේ නැතුව කල් අදිනවා. පොලිසිය උසාවියට දක්වන සැලකිල්ලේ තරම කොච්චර ද කියලා මේ ලිපියෙන්ම පේනවා.”
යනුවෙන් පවසමින් පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳව දීර්ඝ වේලාවක් තිස්සේ දැඩි ලෙස දෝෂ දර්ශනයට ලක් කළ ගම්පහ මහේස්ත්‍රාත් බන්දුල ගුණරත්න මහතා මේ සම්බන්ධයෙන් අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිසියට මාස පහකට ආසන්න කාලයක් ලබා දී ඇති බව අවධාරණය කළා.
