රටම එකට ජාතික මෙහෙයුම් යටතේ සැකකරුවන් 438,330 අත්අඩංගුවට

රටම එකට’ ජාතික මෙහෙයුම යටතේ සිදුකළ මත්ද්‍රව්‍ය වැටලීම්වලදී මේ දක්වා සැකකරුවන් 438,330 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරනවා.

අද (5) පැවැති ‘රටම එකට’ ජාතික මෙහෙයුමේ ආගමික සමුළුව අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළා.

සමස්ත සංඛ්‍යාවෙන් අයිස් සහ හෙරොයින් සම්බන්ධ වැරදි සඳහා සැකකරුවන් 405,268 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.

මේ අතර අවුරුදු 5 ත් 14 ත් අතර වයසේ පසුවන දරුවන් 13 දෙනෙකු ද අත්අඩංගුවට පත් පිරිස අතර සිටින බව ජනාධිපතිවරයා විශේෂයෙන් සඳහන් කළා.

මීට අමතරව ඉහත සමස්ත අත්අඩංගුවට ගැනීම් අතර වයස අවුරුදු 21ට අඩු තරුණයන් 11,737 දෙනෙකු සිටින බවත්, ඒ අතරින් වයස අවුරුදු 18ත් 21ත් අතර 10,889 දෙනෙකු සහ අවුරුදු 14ත් 18ත් අතර 1,068 දෙනෙකු සිටින බවත් වැඩිදුරටත් අනාවරණය කළා.

2022 වසරේදී මත්ද්‍රව්‍ය වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තිබුණේ වයස අවුරුදු 18ට අඩු එක් අයෙකු පමණක් වුවද, 2023 දී එම සංඛ්‍යාව 303 දක්වාත්, 2024 දී 754 දක්වාත්, 2025 වසර වනවිට එය 1,824ක් දක්වා ද වර්ධනය වී තිබෙන බවටත් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා.

රට තුළ බාලවයස්කාර දරුවන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීමේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරන බවද ජනාධිපතිවරයා අවධාරණය කළා.