අලි-මිනිස් ගැටුම අවම කිරීමට ක්‍රියාත්මක ‘හස්ති සේනා’ මෙහෙයුමෙන් වැටලීම් රැසක්

වන අලින්ගේ ජීවිත ආරක්ෂා කිරීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ‘හස්ති සේනා’ මෙහෙයුමට සමගාමීව කලාවැව උතුර ප්‍රදේශය ආශ්‍රිතව ඊයේ (04) විශේෂ වැටලීමක් සිදුකර ඇතැයි පරිසර අමාත්‍යංශය සඳහන් කරනවා.

ශ්‍රී ලංකා යුද හමුදාව සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එක්ව මෙම වැටලීම සිදුකර තිබෙනවා.

එහිදී නීතිවිරෝධී දඩයම් සඳහා භාවිත කළ හැකි තුවක්කු, පතරොම්, මූනිස්සම්, වෙඩි බෙහෙත්, මදු සහ හක්කපටස් ඇතුළු උපකරණ රැසක් සොයාගෙන තිබෙනවා.

මීට අමතරව, හා මස් සහ මුව අං ද වැටලීමේදී සොයාගැනීමට හැකිව තිබුණා.

වනසතුන්ගේ ජීවිත ආරක්ෂා කිරීම, නීතිවිරෝධී දඩයම් ක්‍රියාකාරකම් වැළැක්වීම සහ අලි-මිනිස් ගැටුම අවම කිරීම අරමුණු කරගනිමින් ‘හස්ති සේනා’ මෙහෙයුම යටතේ මෙවැනි වැටලීම් අදාළ පාර්ශ්වයන්ගේ සහභාගිත්වයෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙනවා.