සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ රඳවා ගැනීමේ කාල සීමාව අඩු කරන බව ජනපති කියයි

යෝජිත සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පතේ සඳහන් පැය 72 රඳවා ගැනීමේ කාල සීමාව, පැය 48 දක්වා සංශෝධනය කිරීමට සූදානම් බව ජනාධිපති අනුර කුමාර දිසානායක පවසනවා.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ, අද (05) පැවති රටම එකට ජාතික මෙහෙයුමේ ආගමික සමුළුවට එක්වෙමින්.

එමෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරාජයට පත් කිරීමේ ක්‍රියාදාමයේදී කිසිසේත්ම නීති රාමුවෙන් පිටත සිට කටයුතු කිරීමට අපේක්ෂා නොකරන බවත්, නීතිය තුළ කටයුතු කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළා.

”මත්ද්‍රව්‍ය ව්‍යවසනය පරාජයට පත් කිරීමේ ක්‍රියාදාමයේදී අපි කිසි සේත්ම නීති රාමුවෙන් එළියට එන්න අපේක්ෂා කරන්නේ නැහැ. අපි සකස් කරලා තියෙනවා නීතියක්, ඒ නීතිය යටතේ තමයි අපි වැඩ කරන්නේ. අපිට නීතිය ප්‍රමාණවත් නැත්නම් අපි නීති හදනවා” යැයි ජනාධිපතිවරයා කියා සිටියා.