ජනමාධ්‍ය ඇමති ලෙස කෙහෙළිය කළ බව කියන හොරාකෑම ගැන නඩුව දෙසැම්බර් 19 වැනිදාට කල්යයි

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ දහයකට ආසන්න (990,000) මුදලකට GI යයි බට 600ක් මිලදී ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු මොහොමඩ් මිහාල් නියෝග කළා.

ඒ, ඊට අදාළ නඩුව අද (05) කොළඹ මහාධිකරණය හමුවේ කැඳවූ ලැබු අවස්ථාවේදී යි.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා අදාළ නඩුවේ වැඩිදුර විභාගය දෙසැම්බර් මස 19 වැනිදා කැඳවන ලෙස නියම කළා.

2015 වසරේ පැවති ජනාධිපතිවරණය සමයේ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ දහයකට ආසන්න මුදලක් වැයකර දේශපාලන කටයුතු සඳහා ජී. අයි. පයිප්ප බට 600ක් මිලදී ගැනීම තුළින් රජයට පාඩුවක් සිදු කළේ යැයි චෝදනා කරමින් විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස හිටපු අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල, රූපවාහිනි සංස්ථාවේ හිටපු සභාපති විමල් රූබසිංහ සහ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන අය නම් කර තිබෙනවා.

විත්තිකරුවන් තිදෙනා අද (05) අධිකරණය හමුවේ පෙනී සිටියා.