සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සලකා බැලීම ඊයේ (04) දිනයේ දී අවසන් කෙරුණා.
එ අනුව, ලිඛිත දේශන අද (05) පස්වරු 04.00ට පෙර ඉදිරිපත් කරන ලෙසයි ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කරනු ලබන්නේ.
එමෙන්ම, නීතිපතිවරයාගේ දේශනය 09 වැනිදා ඉදිරිපත් කරන ලෙස අදාළ පෙත්සම් සලකා බැලීම ඊයේ (04) දිනයේ දී අවසන් කරමින් අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙංගප්පුලි සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළා .
එහිදී පෙත්සම්කරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා කියා සිටියේ මෙම පනත් කෙටුම්පත යටතේ වැරදි වර්ග තුනක් හඳුන්වා දී ඇති අතර එම වර්ගීකරණය ජාත්‍යන්තර සම්මුතියේ ක්‍රමවේදයට අනුකූල නොවන බවයි.
පනත් කෙටුම්පතේ උපලේඛනයට බුද්ධිමය දේපළ පනතද ඇතුළත් කර තිබීම හේතුවෙන් ප්‍රකාශන හිමිකම් සහ වෙළෙඳ නාම උල්ලංඝනය කිරීම් පවා මෙම පනත යටතේ බරපතළ වැරදි බවට පත්විය හැකි බව ද ඔහු පෙන්වා දුන්නා.
නීතිඥවරයා අධිකරණ හමුවේ පෙන්වා දුන්නේ මෙවැනි වැරදි සම්බන්ධයෙන් ඕනෑම පොලිස් නිලධාරියෙකුට සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ බලය හිමිවන අතර, ඉන් අනතුරුව පොලිසියේ ඉහළ නිලධාරීන්ට ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා රැඳවුම් නියෝග ලබාගැනීමේ හැකියාව පවතින බවයි.
මෙම පෙත්සම් වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ සුහස්තිකා අරුලින්ගම් කියා සිටියේ සංවිධානත්මක අපරාධවල පළමු වින්දිතයා වන්නේ කාන්තාවන් සහ දරුවන් නමුත් ඒ සම්බන්ධව මෙම පනතේ කිසිදු සඳහනක් නොමැති බවයි.
කාන්තාවන් සහ ළමා ජාවරම් සම්බන්ධයෙන් විශේෂ සඳහනක් මෙහි අවශ්‍ය බවයි නිතිඥවරිය මෙහිදී පෙන්වා දුන්නේ.
