මාස හතරක් තුළ තෙවැනි වරටත් චීනයේ නිෂ්පාදන ක්ෂේත්‍රය කඩා වැටෙයි

චීනයේ නිෂ්පාදන ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් ඔක්තෝබර් මාසයේදී අනපේක්ෂිත ලෙස පහත වැටී තිබෙනවා.

එය මාස හතරක් තුළ එම ක්ෂේත්‍රයේ ක්‍රියාකාරකම් හැකිළුණු තුන්වැනි අවස්ථාව බව චීන රජයේ සමීක්ෂණ වාර්තා පෙන්වා දෙනවා.

විදේශීය අපනයන සඳහා පවතින ඉල්ලුම සහ දේශීය වෙළෙඳපොළේ භාණ්ඩ සඳහා ඇති ඉල්ලුම දුර්වල වීම මෙම පසුබෑමට ප්‍රධාන වශයෙන් බලපා තිබෙනවා.

චීනයේ නිෂ්පාදන මිලදී ගැනීමේ කළමනාකරුවන්ගේ දර්ශකය හෙවත් PMI අගය සැප්තැම්බර් මාසයේ පැවති 50.1 සිට ඔක්තෝබර් මාසයේදී 49.3 දක්වා පහත වැටී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වන්නේ.

නත්තල් සමය වෙනුවෙන් විදේශීය වෙළෙඳපොළෙන් ලැබුණු ඇණවුම් සැප්තැම්බර් මාසයේදී ඉහළ ගියද, ඔක්තෝබර් මාසයේදී ඒවා අඩුවීම ද මෙම තත්ත්වයට බලපා තිබෙනවා.

එමෙන්ම, ඔක්තෝබර් මස මුල් සතියේ පැවති චීනයේ ජාතික දින දීර්ඝ නිවාඩුව සමයේ ඉහළ ගිය පාරිභෝගික වියදම් ද ඉන් පසුව යළි පහත වැටී ඇති බව සඳහන්.

නිෂ්පාදන ක්ෂේත්‍රයට අමතරව, සේවා සහ ඉදිකිරීම් ක්ෂේත්‍ර ඇතුළත් නිෂ්පාදන නොවන අංශයේ දර්ශකය ද සැප්තැම්බර් මාසයේ පැවති 50.2 සිට ඔක්තෝබර් මාසයේදී 49.7 දක්වා පහත වැටී තිබෙනවා.