බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ලබාගැනීමට විශාල තදබදයක්

බදු ගෙවන්නන් හඳුනා ගැනීමේ අංකය (TIN) ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමත් සමඟ මෙතෙක් එම අංකය ලබාගෙන නොමැති විශාල පිරිසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පටන්ගෙන තිබෙනවා.

බැංකු ගිණුමක් විවෘත කිරීම, වාහනයක් ලියාපදිංචි කිරීම, ආදායම් බලපත්‍රයක් අලුත් කිරීම සහ ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම ඇතුළු ආර්ථික කටයුතු අටක් සඳහා නොවැම්බර් 01 වැනිදා සිට TIN අංකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පියවර ගත්තේය.

එම තීරණයත් සමඟ එම අංකය ලබාගෙන නොමැති විශාල පිරිසක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට පටන්ගෙන තිබෙනවා.

මේ හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ මෙන්ම ප්‍රාදේශීය කාර්යාලවල ද දැඩි තදබදයක් පැවති බව වාර්තාවෙනවා.

අන්තර්ජාලය ඔස්සේ TIN අංකය ලබා ගැනීම සඳහා විශාල පිරිසක් එකවර අයදුම් කිරීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ද අවහිරතා මතුවීමේ හේතුවෙන් වෙබ් අඩවිය තාවකාලිකව අක්‍රිය කර නඩත්තු කටයුතු සිදුකරනවා.

මේ පිළිබඳව අදහස් දක්වමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, කොමසාරිස් නන්දන කුමාර මහතා පවසන්නේ,

“2026 නොවැම්බර් මස පළමුවැනිදා සිට ආර්ථික ක්‍රියාකාරකම් අටක් සඳහා TIN අංකය අනිවාර්ය කර තිබෙනවා. වයස අවුරුදු 18ට වැඩි සියලු දෙනා TIN අංකයක් ලබාගත යුතු බවට 2024 ජනවාරි පළමුවැනිදා සිට නීතිමය අවශ්‍යතාවක් පවතිනවා. TIN අංකය ලබා ගැනීම සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයට හෝ ප්‍රාදේශීය කාර්යාලයකට පැමිණීමේදී, අදාළ ආර්ථික ක්‍රියාකාරකම් අට සඳහා එම අංකය අත්‍යවශ්‍ය වන පුද්ගලයන් පමණක් අදාළ අංශ වෙත යොමුවන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා යැයිද ප්‍රකාශ කරනවා.