අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම් ලැබුවන්ගේ නාමලේඛණය ප්‍රසිද්ධ කෙරේ

අස්වැසුම දෙවන අදියරේ සුදුසුකම් ලැබූන්ගේ නම් ලේඛනය සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය මඟින් ප්‍රසිද්ධ කර ති‍බෙනවා.

අස්වැසුම සුභසාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියර යටතේ ප්‍රතිලාභ ලබන සහ පවුල්/පුද්ගලයන්ගේ තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු, නව සුදුසුකම් ලැබූන්ගේ නම් ලේඛනය සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් ප්‍රසිද්ධ කර ඇති බව නිවේදනය කරනවා.

එම ලැයිස්තුවේ තමන්ගේ නම පහසුවෙන් බලාගැනීම සඳහා QR කේත ක්‍රමයක් ද හඳුන්වා දී ඇති බවට වාර්තාවෙනවා.

QR කේතය ස්කෑන් කරීමෙන් හෝ, නැතහොත් සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ www.wbb.gov.lk නිල වෙබ් අඩවියට පිවිසීමෙන් තමන්ගේ නම එම ලැයිස්තුවේ තිබේද යන්න බලාගත හැකි වෙනවා.

එමෙන්ම වැඩි විස්තර සඳහා 1924 අංකය අමතාද තොරතුරු ලබා ගත හැකි බවත් වාර්තාවෙනවා.

මෙම නම් ලේඛන මේ වන විට සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සහ ග්‍රාම නිලධාරී කාර්යාලවල ඒවා ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම තොරතුරු යාවත්කාලීන කිරීමෙන් පසු සුදුසුකම් ලැබූන්ගේ නම් ලේඛනය අදියර දෙකක් යටතේ පළ කිරීමට නියමිත අතර, එහි දෙවන අදියරේ නම් ලේඛනය 2026 නොවැම්බර් මස නිකුත් කිරීමට අපේක්ෂා කරනවා.

ප්‍රදර්ශනය කර ඇති නම් ලේඛනයට අනුව සුභසාධක ප්‍රතිලාභ සඳහා සුදුසුකම් ලබා නොමැති හෝ නම් කර ඇති ප්‍රතිලාභ කාණ්ඩය පිළිබඳ සෑහීමකට පත් නොවන පවුල් හෝ තැනැත්තන්ට අභියාචනා ඉදිරිපත් කළ හැකිය. එසේම, නුසුදුසු පුද්ගලයන් නම් ලේඛනයට ඇතුළත්ව ඇත්නම් ඒ සඳහා විරෝධතා ගොනු කිරීමටද මහජනතාවට අවස්ථාව ලබාදී තිබෙනවා.

මාර්ගගත ක්‍රමය (Online) – www.eservices.wbb.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ ප්‍රදේශයේ බලය ලත් සන්නිවේදන මධ්‍යස්ථාන හරහා එය සිදුකරගත හැකිය.

අයදුම්පත් මඟින් – www.wbb.gov.lk වෙබ් අඩවියෙන් අයදුම්පත් බාගත කරගැනීමට හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන්, ග්‍රාම නිලධාරීවරයාගෙන් හෝ අස්වැසුම සංවර්ධන විෂය නිලධාරීන්ගෙන් අයදුම්පත් ලබාගෙන පුරවා, අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සුභසාධක තොරතුරු ඒකකයට භාර දිය යුතුය.

අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා මූලික අයදුම්පතට අමතරව A සහ B පෝරමද, මහජන විරෝධතා සඳහා මූලික අයදුම්පතට අමතරව C පෝරමයද සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ.

එක් අභියාචනාකරුවෙකුට ඉදිරිපත් කළ හැක්කේ එක් අභියාචනාවක් පමණක් වන අතර, නිර්නාමිකවද මහජන විරෝධතා ගොනු කරන්නට පුළුවන් වෙනවා.

සුභසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලයට තැපැල් මාර්ගයෙන්, විද්‍යුත් තැපෑලෙන් (E-mail) හෝ වෙනත් ක්‍රම මඟින් භාරදෙන අභියාචනා සහ විරෝධතා භාරගනු නොලබන බවටත් නිවේදනය කරනවා.

සක්‍රීය ජංගම දුරකථන අංකයක් තිබීම අත්‍යවශ්‍ය වන අතර, යම් හෙයකින් අංකය වෙනස් වී ඇත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා එය යාවත්කාලීන කරගත යුතු බවත් දන්වා තිබෙනවා.

අභියාචනා සහ විරෝධතා භාරගැනීම 2026 නොවැම්බර් මස 11 වන දිනෙන් අවසන් වෙනවා.