පියංකර ජයරත්නට එරෙහි වෙසක් කාඩ් නඩුවේ වැඩිදුර විභාගය ලබන 13ට කල්යයි

දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍ය පියංකර ජයරත්නට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් වැඩිදුර විභාගය සඳහා නොවැම්බර් මස 13 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.

මෙම නඩුව අද (02) කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙළ මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එම අවස්ථාවේ දී විත්තිකාර හිටපු අමාත්‍ය පියංකර ජයරත්නව බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී අල්ලස් කොමිසමේ නිලධාරිනියගේ මෙහෙයවීම යටතේ නඩුවේ විමර්ශන නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.

ඉන් අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ශවීන්ද්‍ර ප්‍රනාන්දුගේ මෙහෙයවීම යටතේ හරස් ප්‍රශ්න ඇසීම සිදු වුණා.

ඉන් අනතුරුව වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් මස 13 වනදා දක්වා කල් තැබුණා.

2013 වසරේ මැයි මස 10 වනදා සහ ජුනි මස 06 වන්දා අතර කාල සීමාව තුළ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් අනීතික ලෙස වෙසක් කාඩ් පත් තුන්දහසක් මුද්‍රණය කිරීම තුළින් රජයට රුපියල් 128,520ක පාඩුවක් සිදු කිරීම තුළින් “දූෂණය” නැමති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම නඩුව ගොනු කර තිබෙනවා.