ඉන්දියාවේ මැතිවරණ කොමිසමේ ප්රධානියාට ඉල්ලා අස්වන ලෙස බල කරමින් විපක්ෂය සංවිධානය කරන දැවැන්ත විරෝධතා රැළියට මේ වනවිට විශාල ජන සහභාගිත්වයෙන් ආරම්භ කර තිබෙනවා.
ඉන්දීය පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් සහ ඉන්දීය ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ (INDIA) නායකයන්ගේ සහභාගිත්වයෙන් මෙම විරෝධතා රැළිය පැවැත්වෙනවා.
මිලියන ගණන් ජනතාවට ඡන්දබලය අහිමිකරමින්, ආණ්ඩු පක්ෂයට වාසිදායක අයුරින්ම මතභේදාත්මක ඡන්දදායක ලැයිස්තු සංශෝධනයක් සම්බන්ධයෙන් රටේ ප්රධාන මැතිවරණ කොමසාරිස් ඥානේෂ් කුමාර් ඉල්ලා අස්විය යුතු බවට බලකරමින් මෙම විරෝධතා රැළිය සංවිධානය කර තිබෙනවා.
මධ්යම දිල්ලියේ පිහිටි පුළුල් භූමියක් වන රාම්ලීලා මයිඩාන්හි කොංග්රස් නායකයින් වන සෝනියා ගාන්ධි සහ මල්ලිකාර්ජුන් ඛාර්ගේ ඇතුළුව ඉන්දියාවේ ප්රමුඛ පෙළේ දේශපාලනඥයන් වන මම්තා බැනර්ජි, අකිලේෂ් යාදව් සහ තේජාෂ්වි යාදව් ඇතුළු පිරිසක් සහභාගිවි සිටිනවා.
ඉන්දියාවේ වර්තමානයේ වැඩිම ජන ආකර්ෂණීයත්වයක් ඇති පීඩන කණ්ඩායමක් වන නවක පරපුරේ GEN-Z කණ්ඩායමේ නායකත්වයෙන් යුත් කොක්රොච් ජනතා පක්ෂය (CJP) ද සහයෝගය ද මෙම විරෝධතා ව්යාපාරයට ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවට වාර්තාවෙනවා.
මේ වනවිට එම රැලියට දස දහස් ගණන් ජනතාව සහභාගිවී තිබෙනවා.
මෙම විරෝධතාවය හේතුවෙන් නවදිල්ලියේ ආරක්ෂාව තර කිරීමට බලධාරීන් පියවර ගෙන තිබෙන අතර, විරෝධතාව පැවැත්වීමට සැලසුම් කර ඇති රාම්ලීලා මයිදාන් භූමිය අවට බැටන් පොලු සහ ආරක්ෂක පලිහ රැගත් ආරක්ෂක නිලධාරීන් මෙන්ම කැරලි මර්දන රථ ද යොදවා ඇති බව විදෙස් පුවත්සේවා වාර්තා කරනවා.
විරෝධතා පාගමන සහ රැලිය හේතුවෙන් මාර්ග කිහිපයක රථවාහන ගමනාගමනය වෙනස් කරන බවට ද බලධාරීන් අනතුරු අඟවා ඇති බව විදෙස් මාධ්ය පවසනවා.
මෙම විරෝධතාවට ලක්ෂ ගණනක ජනතාවක් සහභාගි වනු ඇතැයි විපක්ෂය අපේක්ෂා කරන අතර, එය අග්රාමාත්ය නරේන්ද්ර මෝදි සහ ඔහුගේ භාරතීය ජනතා පක්ෂයට (BJP) එරෙහි දැවැන්ත අභියෝගයක් වනු ඇති බවට ද අනාවැකි පළවෙනවා.
