කුඩාවැල්ල්ලෙන් මුහුදු ගොස් අතුරුදහන්ව සිටි ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා සොයාගැනේ

‘අර්නාබ්’ සුළි කුණාටුවට මැදිව අතුරුදහන්ව සිටි කුඩාවැල්ලේ ධීවර යාත්‍රාව සහ ධීවරයින් සිව්දෙනා පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් දුරින් වූ ගැඹුරු මුහුදේ දී නිරුපද්‍රිතව සොයාගෙන ඇති බව ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යාංශය දැනුම් දෙනවා.

සිව්දින ධීවර කටයුත්තක් අරමුණු කරගනිමින් පසුගිය ඔක්තෝබර් 21 වන දින කුඩාවැල්ල ධීවර වරායෙන් මුහුදු ගිය මෙම යාත්‍රාවේ ඩබ්ලිව්. පී. ප්‍රියන්ත, පී. බී. නිමල්සිරි, එල්. වයි. නෞෂ්ක සහ යාත්‍රා හිමිකරු ද වන කේ. එච්. සවිඳු යන ධීවරන් ගමන් කර තිබෙනවා.

අර්නාබ් සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ සුළං සහ රළු මුහුදු තත්ත්වයට හදිසියේ මුහුණ දීමට සිදු වූ නිසා යාත්‍රාව සහ ගොඩබිම සමඟ තිබූ සියලු සන්නිවේදන සබඳතා ඇනහිට තිබුණා.

යාත්‍රාව පිළිබඳ තොරතුරු නොමැති බවට ධීවර දෙපාර්තමේන්තුවේ සෙවීම් සහ මුදාගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට වාර්තා වූ වහාම, ශ්‍රී ලංකා නාවික හමුදාව, වෙරළාරක්ෂක බලකාය සහ එම මුහුදු කලාපයේ ගමන් ගත් අනෙකුත් ධීවර යාත්‍රා ඒකාබද්ධ කරගනිමින් විශේෂ සෙවීමේ මෙහෙයුමක් දියත් කරනු ලැබුවා.

එම ඒකාබද්ධ මෙහෙයුමේ ප්‍රතිඵලයක් ලෙස අද (01) දින පොතුවිල් සිට නාවික සැතපුම් 200ක් පමණ දුරින් වූ සාගර කලාපයේදී අදාළ යාත්‍රාව සොයාගැනීමට හැකි වූ අතර, මේ වන විට යාත්‍රාවේ සිටි සියලුම ධීවරයින් ආරක්ෂිතව ගොඩබිමට රැගෙන ඒමට කටයුතු කරමින් පවතිනවා.

ඔවුන් සියලු දෙනා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන අතර, අවශ්‍ය මූලික වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රථමාධාර ලබා දීමට කටයුතු සම්පාදනය කර ඇති බවයි ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍යංශය සඳහන් කළේ.