ඉන්දියාවේ ආන්ද්රා ප්රදේශ් හි අනන්තපූර් ප්රදේශයේ රජයේ පාසලකට චෙන්සෝවක් සමඟ ඇතුළු වූ පුද්ගලයෙක් එම පාසලේ සිසුවියන් දෙදෙනෙකුට චෙන්සෝවෙන් පහර දී තිබෙනවා.
එම පාසලේ 10 වන ශ්රේණියේ ඉගෙනුම ලබන 15 හැවිරිදි සිසුවියන් දෙදෙනෙකුට අදාළ පුද්ගලයා මෙලෙස පහර දී ඇති බවයි වාර්තා වුණේ.
පහරදීමෙන් සිසුවියන් දෙදෙනාම තුවාල ලබා ඇති අතර, ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
මෙම ප්රහාරය සිදුව ඇත්තේ රාප්ටාඩු ගම්මානයේ පිහිටි ‘සිල්ලා පරිෂද්’ උසස් පාසලේදී බවයි ඉන්දීය මාධ්ය වාර්තා කරන්නේ.
අද (31) පෙරවරු 10.30ට ගුරුවරයෙකු පන්ති කාමරයේ උගන්වමින් සිටින අතර තුර අදාළ පහරදීම සිදුව ඇති අතර, 21 හැවිරිදි අයෙක් විසින් මෙම ක්රියාව සිදුකර ඇති බව වාර්තා වනවා.
තුවාල ලැබූ සිසුවියන් දෙදෙනාම හදිසි ප්රතිකාර සඳහා වහාම අනන්තපූර් හි පිහිටි රජයේ රෝහල වෙත රැගෙන ගොස් ඇති අතර, ඉන් එක් සිසුවියක් වැඩිදුර ප්රතිකාර සඳහා බැංගලෝර් නුවර රෝහලක් වෙත මාරුකර යවා ඇති බව වාර්තා වනවා.
ප්රහාරයෙන් එක් සිසුවියකගේ බෙල්ල සහ උදරයේ ගැඹුරු කැපුම් තුවාල සිදුව ඇති අතර, ඇයගේ දකුණු අත වෙන් වී ගොස් ඇති බවයි ඉන්දීය මාධ්ය වැඩිදුරටත් තොරතුරු වාර්තා කළේ.
මෙම පහරදීම සිදුකළ හේමන්ත් නැමති සැකකරු ප්රහාරයෙන් පසු පාසලෙන් පලා ගොස් ඇති අතර, පසුව ඔහුව ධර්මවරම් දුම්රිය ස්ථානයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මූලික විමර්ශනවලින් හෙළි වී ඇත්තේ සැකකරු වින්දිත දැරියකගේ ඥාතියෙකු බවයි.
පාසලේ අලුත්වැඩියා කටයුතු සිදුවෙමින් පැවති බැවින්, ඔහු සේවකයෙකු යැයි සිතා පාසලේ ගුරුවරුන් සහ ආරක්ෂක අංශ විසින් ඔහුව පාසල ඇතුළට යාමට ඉඩ දී ඇති බව පොලිසිය පවසනවා.
