වයස අවුරුදු 16ට අඩු දැරියක් පියා විසින් දූෂණය සිදුකිරීමේ අපරාධයක් සම්බන්ධව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ හා විමර්ශන කාර්යංශය මඟින් විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගෙන ගරු අධිකරණයේ නඩු පවරා තිබුණා.
ඊයේ (29) දින ගම්පහ මහාධිකරණයේ මෙම නඩුව කැඳවා තීන්දුව ප්රකාශයට පත් කර ඇති අතර, එහිදී චූදිත වන වින්දිත දැරියගේ පියා වෙත නඟා තිබූ චෝදනා 03 ටම වරදකරු බවට තීන්දු කරමින් එක් එක් චෝදනාව සඳහා වෙන වෙනම වසර 18 බැගින් බරපතල සිරදඬුවම් නියම කර තිබෙනවා.
ඊට අමතරව රුපියල් පනස්දාහ බැගින් දඩ නියම කරමින් සියළුම චෝදනා සඳහා වසර 54ක සිරදඬුවම් හා රුපියල් 150,000ක දඩයක් නියම කර තිබෙනවා.
එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් චෝදනාවකට වෙන වෙනම වසර බැගින් වසර 03ක සිරදඬුවම් නියම කිරීමටයි නියෝග කර ඇත්තේ.
තවදුරටත් නියෝගය ප්රකාශයට පත් කරමින් වින්දිත දැරිය වෙත රුපියල් 200,000ක වන්දි මුදලක් ගෙවීමට නියෝග කර එම වන්දි මුදල නොගෙවන්නේ නම් තවත් වසර 02ක සිරදඬුවම් ද නියම කර තිබෙනවා.
මේ අතර මීට පෙර පානදුර මහාධිකරණයේ දී මෙම නඩුවේ වින්දිත දැරිය දූෂණය සිදුකිරීම හා මුදලට අලෙවි කිරීම සම්බන්ධයෙන් චූදිතයෙකු වූ වින්දිත දැරියගේ මවගේ අනියම් පුරුෂයාට විරුද්ධව චෝදනා 02 ක් යටතේ නඩු කටයුත්තක් පවත්වා ගෙන ගොස් තිබුණා.
එම නඩුවේ තීන්දුව 2024/06/24 දින ප්රකාශයට පත් කරමින් පළමු චෝදනාවට බරපතල වැඩ සහිතව වසර 15ක සිරදඬුවම් නියම කර රුපියල් 3,000ක දඩ මුදලක් ද, දෙවන චෝදනාවට බරපතල වැඩ සහිතව වසර 15 ක සිරදඬුවම් නියම කර රුපියල් 5,000ක දඩ මුදලක් ද නියම කර තිබෙනවා.
එම දඩ මුදල නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවකට වෙන වෙනම මාසය බැගින් මාස 02 ක ලිහිල් වැඩ සහිතව සිරදඬුවම් නියම කර ඇති අතර, වින්දිත දැරියට එක් එක් චෝදනාව සඳහා රුපියල් 250,000 බැගින් චෝදනා 02 සඳහා රුපියල් ලක්ෂ පහක වන්දි මුදලක් ගෙවීමට චූදිතට නියෝග කරමින් එම වන්දි මුදල නොගෙවන්නේ නම් එක් එක් චෝදනාවට මාස 18 බැගින් තවත් වසර 03 ක සැහැල්ලු වැඩ සහිත සිරදඬුවම් නියම කිරීමටයි කටයුතු කර තිබුණේ.
