ඊශ්‍රායල මහ මැතිවරණයෙන් නෙතන්යාහුගේ කණ්ඩායමට ජය – බහුතර බලය අහිමි වෙයි

ඊශ්‍රායල 2026 මහ මැතිවරණයේ අවසන් ඡන්ද ප්‍රතිඵලවලට අනුව, අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ දක්ෂිණාංශික කණ්ඩායම ආසන 53ක් දිනාගෙන ඇති බව ‘ද ජෙරුසලම් පෝස්ට්’ පුවත්පත වාර්තා කරනවා.

කෙසේ වෙතත් රජයක් පිහිටුවීම සඳහා අවශ්‍ය වන ආසන 61ක බහුතර බලය ලබාගැනීමට ඔවුන්ට හැකියාව නොලැබී ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර, බ්‍රහස්පතින්දා නිකුත් කරන ලද මධ්‍යම මැතිවරණ කමිටුවේ දත්තවලට අනුව, විපක්ෂ කණ්ඩායම මෙවර මහ මැතිවරණයෙන් ආසන 48ක් දිනාගෙන තිබෙනවා.

කෙසේ වෙතත්, කිසිදු පාර්ශ්වයකට ආසන 61ක නිරපේක්ෂ බහුතරයක් ලබා ගැනීමට නොහැකි වී ඇති බැවින්, ආසන 19ක් දිනා සිටින අරාබි පක්ෂ, ආණ්ඩුවක් පිහිටුවීමේදී තීරණාත්මක සාධකය බවට මේ වනවිට පත්ව තිබෙනවා.

නෙතන්යාහුගේ ‘ලිකුඩ්’ පක්ෂය ආසන 27ක් දිනා ගනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ඒ අනුව ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විශාලතම පක්ෂය බවට එය පත්වනු ඇති.

නෙතන්යාහුට සිය ධුරය අහිමි වුවහොත්, ඔහු මෙතෙක් මඟ හැරීමට උත්සාහ කළ සිදුවීම් මාලාවක් කරා එය මඟ පාදනු ඇති.

ඔහුට දිගු කලක් තිස්සේ පවතින දූෂණ චෝදනා සම්බන්ධයෙන් වගවීමට සිදුවනු ඇති අතර, 2023 ඔක්තෝබර් 07 වන දින හමාස් සංවිධානය විසින් එල්ල කරන ලද විනාශකාරී ප්‍රහාරයට අදාළ ආරක්ෂක අසාර්ථකත්වයන් පිළිබඳව නිල විමර්ශනයක් ද බොහෝ දුරට ආරම්භ වනු ඇති බවයි වන්නේ.

සන්ධාන රජයක කොටස්කරුවන් නොවූවද, අරාබි පක්ෂවලට ඉදිරි පාර්ලිමේන්තුවේ දී නෙතන්යාහුගේ අනෙකුත් විරුද්ධවාදීන්ට සහායදීම මගින් තම වර්ධනය වන බලය ප්‍රදර්ශනය කළ හැකි බවත් විදෙස් වාර්තා පෙන්වා දෙනවා.

මෙහිදී නව කතානායකවරයෙකු පත් කර ගැනීම වැනි ක්‍රියාමාර්ග හරහා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රය පාලනය කිරීමටත්, නව රජයක් පිහිටුවීමට පෙර නීති සම්පාදනය කිරීමටත් ඔවුන්ට අවස්ථාව ලැබිය හැකියි.

නෙතන්යාහුගේ ප්‍රධාන ප්‍රතිවාදියා වන හිටපු හමුදා ප්‍රධානී ගාඩි අයිසන්කොට්, කොන්දේසි සහිතව, අරාබි නායකත්වයෙන් යුත් පක්ෂ සමඟ එක්වීමට විවෘත බව පෙන්වා දී තිබෙනවා.

අරාබි නායකත්වයෙන් යුත් ඒකාබද්ධ ලැයිස්තුවේ දෙවන ස්ථානයේ සිටින අහමඩ් ටිබි, හමුදා ගුවන් විදුලියට පැවසුවේ, නෙසෙට් කතානායකවරයා ප්‍රතිස්ථාපනය කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා විපක්ෂ කණ්ඩායම තමා වෙත පැමිණි බවත්, එම කණ්ඩායමේ අපේක්ෂකයාට පක්ෂය සහාය දෙන බවත් ඔහු ඔවුන්ට පැවසූ බවයි.

කෙසේ වෙතත්, නව රජයක් පිහිටුවනු නොලැබුනේ නම්, ඊශ්‍රායලය ලබන වසර මුල දී තවත් මැතිවරණයකට මුහුණ දීමට සිදුවනු ඇති.