ලක්ෂ 14කගේ අස්වැසුම කැපූ කතාව අසත්‍යයි – ඇමති උපාලි පන්නිල (වීඩියෝ)

අස්වැසුම ප්‍රතිලාභීන් ලක්ෂ 14කට ආසන්න පිරිසකගේ සහනාධාරය අත්හිටුවා ඇති බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍ය බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල පවසනවා.

අනුරාධපුර භික්ෂු විශ්වවිද්‍යාලයේ ශ්‍රවණාගාරයේ දී ඊයේ (29) පැවති, සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් දිවයින පුරා ක්‍රියාත්මක කරනු ලබන අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා සවියට නව බලයක්” වැඩසටහන පිළිබඳව අනුරාධපුර, පොළොන්නරුව, ත්‍රිකුණාමලය, වවුනියාව සහ මුලතිව් දිස්ත්‍රික්කවල සමෘද්ධි නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළා.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ, දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 1,206,000ක් වන බැවින්, ලක්ෂ 14ක පිරිසකගේ ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන වාර්තා ප්‍රායෝගිකව පවා සිදුවිය නොහැකි බවයි.

අස්වැසුම ප්‍රතිලාභීන් සම්බන්ධයෙන් මේ වන විට සිදුකෙරෙන සමාලෝචනයට අනුව, පළමු අදියර සඳහා තේරී පත් වූ ප්‍රතිලාභීන් 991,000කගේ නාමලේඛනය ප්‍රකාශයට පත් කර ඇති බවත්, පළමු අදියර යටතේ දැනට අස්වැසුම ප්‍රතිලාභය ලබන සංඛ්‍යාව 989,000ක් පමණ වන බැවින්, නව සමාලෝචනයට අනුව ප්‍රතිලාභීන් 2,000ක පමණ වැඩිවීමක් පෙන්නුම් කරන බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

දෙවන අදියර යටතේ ප්‍රතිලාභීන් 215,000ක් පමණ සිටින අතර, එම අදියරේ සමාලෝචනය ලබන වසරේ දී සිදු කිරීමට නියමිත අතර, ඒ අනුව, එම සමාලෝචනය සිදු කරන තෙක් දැනට සිටින ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාවෙහි වෙනසක් සිදු නොකර අස්වැසුම ප්‍රතිලාභ අඛණ්ඩව ලබාදීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළා.

තවද, පළමු අදියර යටතේ තවත් ප්‍රතිලාභීන් 740,000ක පමණ පිරිසක් සම්බන්ධයෙන් සමාලෝචනය කිරීමට නියමිතව ඇති බවත්මෙ, සියලු කරුණු සැලකිල්ලට ගැනීමේදී ඉදිරියේදී අස්වැසුම ප්‍රතිලාභීන්ගේ සංඛ්‍යාව අඩු වීමක් නොව, වැඩි වීමක් සිදුවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කර සිටියා.

එබැවින්, අස්වැසුම ප්‍රතිලාභ කපා හැර ඇති බවට පළවන මෙවැනි අසත්‍ය හා නොමඟ යවන සුළු තොරතුරුවලට නොරැවටෙන ලෙසයි අමාත්‍යවරයා මහජනතාවගෙන් ඉල්ලා සිටියේ.