කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව විසින් බෙංගාල බොක්ක මුහුදු ප්රදේශය සහ දිවයින වටා වන ගැඹුරු හා නොගැඹුරු මුහුදු ප්රදේශය සඳහා තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
අද (27) පෙරවරු 8.00ට නිකුත් කර ඇති මෙම නිවේදනය ඉදිරි පැය 12 දක්වා වලංගු බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
බටහිර – මධ්යම බෙංගාල බොක්ක ආශ්රිතව පැවති ‘ඔර්නබ්’ ප්රබල සුළි කුණාටුව තවදුරටත් වර්ධනය වී ඉතා ප්රබල සුළි කුණාටුවක්’ බවට පත්වී අද (27) අලුයම 02.30 වන විට උතුරු අක්ෂාංශ 15.9 සහ නැගෙනහිර දේශාංශ 85.4 ආසන්නයේ, එනම් කන්කසන්තුරේ සිට කිලෝමීටර් 890ක් පමණ ඊසාන දෙසින් කේන්ද්ර ගතව පැවතුණා.
මෙය අද පස්වරු 05.30 දක්වා බටහිර බරව වයඹ දෙසට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති අතර, ඉන් අනතුරුව වයඹ දෙසට ගමන් කරමින්, හෙට (28) දින පෙරවරු 11.30 වන විට ආන්ද්ර ප්රදේශ් වෙරළ තීරය හරහා ඉන්දීය ගොඩබිමට ගමන් කිරීමට බොහෝ දුරට ඉඩ පවතිනවා.
“අවවාදාත්මක ” කාණ්ඩයට අයත් මුහුදු ප්රදේශවල සුළඟේ වේගය විටින් විට පැයට කිලෝමීටර 80-140 දක්වා ඉහළ යා හැකි අතර, ගිගුරුම් සහිත තද වැසි ඇති විය හැකියි.
එමෙන්ම මෙම මුහුදු ප්රදේශවල මුහුදු රළ උස මීටර් (3.0 – 4.0) ක් පමණ ඉහළයාමේ හැකියාවක් පවතින අතර මෙම මුහුදු ප්රදේශ ඉතා රළු විය හැකි බවත් දැනුම් දෙනවා.
මේ හේතුවෙන් උතුරු අක්ෂාංශ 10ත් 20ත් සහ නැගෙනහිර දේශාංශ 80ත් 95ත් අතර මුහුදු ප්රදේශවල නැවත දැනුම් දෙනතුරු ධීවර සහ නාවික කටයුතුවලින් වළකින ලෙසත් එම මුහුදු ප්රදේශවල ධීවර සහ නාවික කටයුතුවල යෙදෙන ප්රජාවන් ආරක්ෂිත ප්රදේශ කරා යාත්රා කරන ලෙසත් කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව උපදෙස් දී තිබෙනවා.
