වැසි තත්ත්වය හමුවේ පුද්ගලයින් 12,032ක් පීඩාවට – පුද්ගලයින් 304ක් ආරක්ෂිත ස්ථානවල

වැසි තත්ත්වය හමුවේ දිස්ත්‍රික්ක 12ක පුද්ගලයින් 12,032ක් පීඩාවට පත්ව ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි පවසනවා.

එමෙන්ම පුද්ගලයින් 304 දෙනෙක් ආරක්‍ෂිත ස්ථානවල රඳවා ඇති බවයි සහකාර අධ්‍යක්ෂවරයා සඳහන් කළේ.

මන්නාරම, රත්නපුර සහ කොළඹ යන දිස්ත්‍රික්කවල මෙම ආරක්‍ෂිත ස්ථාන ස්ථාපිත කර ඇති බවත් ඔහු සඳහන් කර සිටියා.

මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුව මඟින් පාලනය වන ප්‍රධාන ජලාශ 17ක් සහ මධ්‍ය පරිමාණ ජලාශ 13ක් මේ වන විට වාන් දමමින් තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසනවා.

එමෙන්ම ගිං, නිල්වලා, කළු, කැලණි ගංගාවල මෙන්ම අත්තනගලු ඔයේ සහ මහ ඔය අවට පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර දිස්ත්‍රික්ක තුනක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 11කට නායායාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය සඳහන් කළා.