රිමාන්ඩ් භාරයට පත්කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර තිබෙන තවත් නඩුවක් අද (13) කොළඹ මහාධිකරණය හමුවේ විභාගයට ගත්තා.
ඌව පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයන් කටයුතු කරමින් සිටියදී පෙර පාසල් දරුවන්ට පොත් බෑග් බෙදා දෙන බව පවසා රුපියල් ලක්ෂ දහයක මුදලක් අයථා පරිහරණය කිරීම සම්බන්ධයෙන් චාමර සම්පත් දසනායකට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබුණා.
මෙහිදී අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ මෙහෙයවීම මත පැමිණිල්ලේ සාක්ෂිකරුවකු වශයෙන් නම්කර තිබූ බදුල්ල ලංකා බැංකු ශාඛාවේ නිලධාරියෙකුගෙන් සාක්ෂි සටහන් කර ගැනීම සිදුවුණා.
ඉන් අනතුරුව සාක්ෂිකරුගෙන් හරස් ප්‍රශ්න විමසීම නොවැම්බර් මස 04 වැනදා දක්වා කල් තැබීමටයි අධිකරණය නියම කළේ.
