ඉතාලියේ සමාගමකින් යුරෝ මිලියන 05ක් වටිනා වයින් බෝතල් 30,000ක් උස්සලා

ඉතාලියේ කීර්තිමත් වයින් නිෂ්පාදන ආයතනයකින් යුරෝ මිලියන 05ක් පමණ වටිනා වයින් බෝතල් 30,000ක් සොරුන් විසින් සොරාගෙන ඇති බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

ඉතාලියේ විශාලතම වයින් නිෂ්පාදන සමාගමක් වන මාර්චේසි ඇන්ටිනෝරි ප්‍රකාශ කළේ, විදේශීය පාරිභෝගිකයින් වෙත තොගයක් යැවීමට සූදානම් වෙමින් සිටියදී ටස්කනිහි පිහිටි ඔවුන්ගේ ගබඩා මධ්‍යස්ථානයේ මෙම සොරකම සිදුව ඇති
බවයි.

මුහුණු ආවරණය කරගත් පුද්ගලයින් හත්දෙනෙකු විසින් අනතුරු ඇඟවීමේ පද්ධති අක්‍රිය කර, කැමරා පද්ධති අඩපණ කර, සමාගමට අයත් ෆෝක්ලිෆ්ට් යන්ත්‍ර භාවිතයෙන් විශාල ට්‍රක් රථ දෙකකට සමාගමේ වටිනාම Tignanello, Solaia, Guado al Tasso යන Tuscan reds වර්ගයේ වයින් බෝතල් තොගයක් මෙලෙස සොරාගෙන ගොස් තිබෙනවා.

සාමාන්‍යයෙන් එක් බෝතලයක් යුරෝ 150ත් 500ත් අතර මිලකට අලෙවි වන මෙම වයින් වර්ග තෝරා ගැනීමෙන් පෙනී යන්නේ, සොරුන් වයින් පිළිබඳ මනා දැනුමක් ඇති අය බවත්, ආයතනය තුළ සිදුවන දේ පිළිබඳව ඔවුන්ට අභ්‍යන්තර තොරතුරු ලැබී තිබූ බවත් සමාගම විශ්වාස කරනවා.