දඹුලු විහාරය ඇතුලු පූජනීය ස්ථාන කිහිපයකට ප්‍රහාර මාලාවක් නිකුත් කරන බවට දේශසහගත ප්‍රකාශ ඇතුළත් පෝස්ට් ප්‍රචාරණය කිරීම සහ බුදුරජාණන් වහන්සේගේ ඡායාරූප විකෘති කරමින් වට්සැප් සමාජ මාධ්‍යට යොමු කළ බව කියන 21 හැවිරිදි තරුණයා ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද( 01) නියෝග කළා.
සිද්ධියට අදාල සැකකරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශයේ ආවේක්ෂණ හා බුද්ධි ඒකකය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.
ඉබ්බාගමුව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21 වයසැති ඒ.එම්. අමෝද්‍ය මතීශ නමැත්තා එලෙස රක්ෂිත බන්ධනාගාරගත කළා.
දඔුල්ල විහාරයේ විහාරාධිපති ආචාර්ය ධානියගම ආනන්ද අනුනාහිමි විසින් කරන ලද පැමිණිල්ලකට අදාලව මෙහි විමර්ශන කටයුතු ආරම්භ කළ බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් විමර්ශන නිලධාරීන් පවසා සිටියේ 2026/11/19 වෙනිදා දළදා මාළිගාව ,ථූපාරාමය, ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජනීය ස්ථාන රැසකට ප්‍රහාර දියත් කිරීම අපගේ එකම අරමුණ බවත්, අප සියලු දෙනාගේම එකම අරමුණ බුදු දහම මුළු සමස්ත ලෝකයෙන්ම අතුගා දැමීම ලෙසින් එම වට්සැප් සමුහය තුළට ප්‍රචාරණ යවා තිබූ බවයි .
විමර්ශන් නිලධාරීන් අදාල වට්සැප් සමුහයේ ඡායා පිටපත් සමඟ එම කරුණු අධිකරණයට දක්වා සිටියා.
සිද්ධියට අදාල මෙම සැකකරු එම වට්සැප් සමූහයේ ඇඩ්මින් බවයි විමර්ශන නිලධාරීන් අධිකරණයට කරුණු දැක්වුවේ.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 16 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළා.













