මේ වන විට ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින ජනතා විමුක්ති පෙරමුණේ මහ ලේකම් ටිල්වින් සිල්වා ඇතුළු එම පක්ෂයේ නියෝජිත පිරිසක් ඊයේ (30) දිල්ලි ප්‍රාන්තයේ මහ ඇමතිනී රේඛා ගුප්තා හමුවුණා.
මෙම හමුවට දිල්ලි ප්‍රාන්තයේ අධ්‍යාපන අමාත්‍ය අශීෂ් සූද් ඇතුළු නියෝජිත පිරිසක් ද සහභාගි වී සිටියා.
මෙහිදී දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විසින් වත්මන් කාලසීමාව තුළ ජනතාවගේ අවශ්‍යතා සහ සුබසාධනය වෙනුවෙන් මෙන්ම දිල්ලි නගරයේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාත්මක කර ඇති ප්‍රධාන ව්‍යාපෘති සහ වැඩසටහන් පිළිබඳව මහ ඇමතිනී රේඛා ගුප්තා මහත්මිය ඇතුළු පිරිස විසින් ජනතා විමුක්ති පෙරමුණේ නියෝජිත පිරිසව දැනුවත් කර තිබෙනවා.
විශේෂයෙන් පරිසර හිතකාමී ප්‍රවාහන සේවාවක් ස්ථාපිත කිරීම සඳහා ක්‍රියාත්මක වන විදුලි බස් රථ ව්‍යාපෘති, විදුලි වාහන ප්‍රවර්ධනය හා ආරෝපණ පහසුකම් පුළුල් කිරීම සම්බන්ධයෙන් අදහස් හුවමාරු විය. දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව විදුලි බස් රථ ප්‍රවාහන පද්ධතිය පුළුල් කරමින් සිටින අතර, 2026 වසර තුළ විදුලි බස් රථ විශාල සංඛ්‍යාවක් එක් කර තිබෙන බවද මෙහිදී සඳහන්.
එමෙන්ම කාන්තාවන්ගේ සුබසාධනය, ආර්ථික සවිබලගැන්වීම සහ ස්වාධීනත්වය ඉහළ නැංවීම සඳහා ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද සාකච්ඡා කෙරුණා.
දරුවන්ගේ සහ ජනතාවගේ සුබසාධනය, අධ්‍යාපනය හා සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා දිල්ලි ප්‍රාන්ත ආණ්ඩුව ක්‍රියාත්මක කරන වැඩසටහන් පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු වුණා.
ශ්‍රී ලංකාව තුළ මේ වන විට සිදුවෙමින් පවතින සමාජ හා ආර්ථික වෙනස්කම්, ජනතාවගේ ජීවන තත්ත්වය නඟාසිටුවීම සඳහා ක්‍රියාත්මක කරමින් පවතින සුබසාධන වැඩසටහන් පිළිබඳව ටිල්වින් සිල්වා විසින් අදහස් පළ කර තිබුණා.
විශේෂයෙන් රට පුරා තිරසාර පාරිසරික පිරිසිදුතාවක් ඇති කිරීම සහ මහජන ආකල්පමය වෙනසක් ඇති කිරීමයි සඳහා ගෙන යන “Clean Sri Lanka ” වැඩපිළිවෙළ පිළිබඳවද දෙපාර්ශ්වය අතර අදහස් හුවමාරු වුණා.













