මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව ඉදිරිපත් කර තිබෙන නඩුවක් පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළා.
මෙම නඩුකරය අද (28) කැඳවූ අවස්ථාවේදී විත්තිකාර යෝෂිත රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටියා.
දෙවන විත්තිකාරිය පන ඩේසි ෆොරස්ට් අධිකරණයේ පෙනී නොසිටි අතර, ඇය වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා අධිකරණයට වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කළා.
ඉන් අනතුරුව ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය සඳහා මෙම නඩුකරය නොවැම්බර් මස 03 වනදා කැඳවන ලෙස නියම කළා.
අයතා ලෙස උපයා ගත් රුපියල් මිලියන 57 කට ආසන්න මුදලක් බැංකු ගිණුම් තුනක තැන්පත් කිරීම තුළින් මුදල් විශුද්ධීකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළ බවට චෝදනා කරමින්, යෝෂිත රාජපක්ෂ සහ ඩේසි ෆොරස්ට් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.













