සිරගත කර සිටින පාකිස්ථානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලා ඔහුගේ Pakistan Tehreek-e-Insaf – PTI පක්ෂය සැප්තැම්බර් 27 වැනිදා පැවැත්වීමට සැලසුම් කර ඇති දැවැන්ත පාගමනට පෙර, ඉස්ලාමාබාද් අගනුවර ආරක්ෂාව දැඩි කිරීමට පාකිස්ථාන බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
අගනුවරට පිවිසෙන ප්‍රධාන මාර්ග රැසක් Shipping Containers යොදා අවහිර කර ඇති අතර, අතිරේක පොලිස් සහ අර්ධ හමුදා සාමාජිකයන් 35,000කට ආසන්න පිරිසක් ඉස්ලාමාබාද් සහ ඒ අවට ප්‍රදේශවල යොදවා ඇති බව Reuters වාර්තා කරනවා.
PTI පාලනය යටතේ පවතින Khyber Pakhtunkhwa පළාත සහ ඉස්ලාමාබාද් සම්බන්ධ කරන ප්‍රධාන අධිවේගී මාර්ග ද වසා දමා ඇති අතර, පාර්ලිමේන්තුව, අගමැති නිල නිවස සහ විදේශ තානාපති කාර්යාල පිහිටි රජයේ පරිපාලන කලාපයට පිවිසීම සීමා කිරීමට ද පියවර ගෙන තිබෙනවා.
පාගමනට පෙර ඉම්රාන් ඛාන්ගේ සොහොයුරියන් තිදෙනෙකු සහ PTI ක්‍රියාකාරීන් සිය ගණනක් මහජන සාමය පවත්වා ගැනීමේ අවශ්‍යතාව සඳහන් කරමින් බලධාරීන් විසින් රඳවාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මාර්ග අවහිර කිරීම් සහ ආරක්ෂක සූදානම නොතකා සැලසුම් කළ පාගමන පවත්වන බව PTI සභාපති Gohar Khan ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර පාකිස්ථාන අභ්‍යන්තර කටයුතු අමාත්‍ය Mohsin Naqvi, විරෝධතාව ප්‍රචණ්ඩකාරී වුවහොත් ආරක්ෂක අංශ දැඩි ප්‍රතිචාරයක් දක්වන බවට අනතුරු අඟවා තිබෙනවා. ඉස්ලාමාබාද් මහාධිකරණය ද දේශපාලන පක්ෂවලට පොදු මාර්ග, අධිවේගී මාර්ග හෝ රජයේ ගොඩනැගිලි අත්පත් කරගැනීමට නීත්‍යනුකූල අයිතියක් නොමැති බව මීට පෙර තීන්දු කර තිබුණා.
2022දී විශ්වාසභංගයකින් බලයෙන් ඉවත් කෙරුණු ඉම්රාන් ඛාන් 2023 සිට සිරගතව සිටින අතර, තමන්ට එරෙහි නඩු දේශපාලන අරමුණු සහිත බව ඔහු ප්‍රකාශ කරනවා. පාකිස්ථාන බලධාරීන් සහ හමුදාව එම චෝදනා ප්‍රතික්ෂේප කරනවා.
PTI පක්ෂයේ මීට පෙර පැවති විශාල විරෝධතාවක් ආරක්ෂක අංශ සමඟ මාරාන්තික ගැටුම්වලින් අවසන් වූ පසුබිමක මෙවර ඉස්ලාමාබාද් පාගමන පැවැත්වීමට නියමිත අතර, උද්ධමනය සහ ඉන්ධන මිල ඉහළ යාම සම්බන්ධයෙන් ද පාකිස්ථානය තුළ ජනතා අප්‍රසාදය ඉහළ යමින් පවතින බව Reuters වාර්තාව පෙන්වා දෙනවා.













