මෙම වසරේ පළමු මාස අටේ මෙරට අපනයන ආදායම ඩොලර් බිලියන 12 ඉක්මවයි

2026 වසරේ මුල් මාස 08 තුළ මෙරට සමස්ත අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව ඉක්මවා යමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 12.01 දක්වා ළඟා වී තිබෙනවා.

එය 2025 වසරේ අදාළ කාල පරිච්ඡේදයේ වාර්තා වූ ඇමෙරිකානු ඩොලර් බිලියන 11.52 ට සාපේක්ෂව 4.26% ක ඉහළ යාමක්.

මෙම කාලසීමාව තුළ භාණ්ඩ හා සේවා අපනයන යන අංශ දෙකම ධනාත්මක වර්ධනයක් වාර්තා කර ඇති බවයි ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සඳහන් කරන්නේ.

භාණ්ඩ අපනයනය 3.63% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් බිලියන 9.41 ක් ලෙස සටහන් වූ අතර, සේවා අපනයනය 6.59%ක වර්ධනයක් සටහන් කරමින් ඇමෙරිකානු ඩොලර් බිලියන 2.60 ක් දක්වා ළඟා වී තිබෙනවා.

මෙම සාධනීය වර්ධනය 2026 අගෝස්තු මාසයේ කාර්ය සාධනය තුළ ද පිළිඹිබු වූ අතර, එහිදී සමස්තඅපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.60 ක් දක්වා ළඟා වෙමින් පෙර වසරට සාපේක්ෂව 1.77% ක වර්ධනයක් වාර්තා කර ඇති බවයි
එම මණ්ඩලයේ සදහන් කරන්නේ.

අගෝස්තු මාසය තුළ සේවා අපනයන අංශය 13.97% කින් ඉහළ ගොස් ඇමෙරිකානු ඩොලර් මිලියන 331.87 ක් බවට පත්වෙමින් සුවිශේෂී ප්‍රගතියක් පෙන්නුම් කළ අතර, භාණ්ඩ අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 1.27ක් ගෙන තිබෙනවා.

වසරේ මුල් මාස අට තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 12 සීමාව පසුකිරීම, ශ්‍රී ලංකාවේ අපනයන පදනම පුළුල් කිරීම හා විවිධාංගීකරණය කිරීම, ජාත්‍යන්තර වෙළඳපොළ තුළ පැවැත්ම ශක්තිමත් කිරීම සහ ජාතික ආර්ථිකයට අපනයන ක්ෂේත්‍රයේ දායකත්වය ඉහළ නැංවීමට ගන්නා උත්සාහයන් හි සුවිශේෂී ඉදිරි පියවරක් බවයි අපනයන සංවර්ධන මණ්ඩලය පවසන්නේ.