එප්පාවල පොලිස්වසමේ, ගල්මඩුව ප්‍රදේශයේ තියුණු ආයුධයකින් පහර දී කාන්තාවක් ඝාතනය කර ඇති බව එප්පාවල පොලීසිය සඳහන් කරනවා.
මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා වස පානයකර යතුරුපැදියකින් යමින් සිටිය දී යතුරුපැදිය වන අලියකුගේ ගැටී ඔහුව රෝහල් ගතකර ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.
අද (27) අලුයම් කාලයේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ ගයනි ඉරෝමා දිසානායක නැමැති 45 හැවිරිදි කාන්තාවක්.
සිය දියණියට පාසල් යාම සඳහා ආහාර සකස් කිරීමට අද (27) අලුයම අදාළ කාන්තාව නිවසේ මුළුතැන්ගෙයින් එළියට පැමිණි අවස්ථාවේ නිවස පිටුපස සැඟව සිටි සැකකරු මන්නා පිහියකින් ඇයගේ හිසට හා ගෙළට පහර දී ඇති බවයි වාර්තා වන්නේ.
එම අවස්ථාවේ අදාළ කාන්තාව එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
ඝාතනය සිදුකළ සැකකරු වස පානය කර යතුරුපැදියක නැගී මහඉලුප්පල්ලම දෙසට ගමන් කර ඇති අතර, මහඉලුප්පල්ලම බහුකාර්ය ගොඩනැගිල්ල අසල දී ඔහුගේ යතුරුපැදිය වන අලියකුගේ ගැටී අනතුරට ලක්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
සැකකරු එප්පාවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහු වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත පොලිස් ආරක්ෂාව යටතේ මාරුකර යවා තිබෙනවා.
සැකකරු මහඉලුප්පල්ලම, කළාකරඹෑව ප්‍රදේශයේ රත්රන් භාණ්ඩ උකස් ගන්නා ව්‍යාපාරිකයෙකු බවයි පොලිසි සඳහන් කරන්නේ.
ඝාතනයට යොදාගත් මන්නා පිහිය නිවසේ සිට මීටර 300ක් පමණ දුරින් පිහිටි ඇලකට විසිකර තිබියදී පොලීසිය සොයා ගෙන තිබෙනවා.
මුදල් ආරවුලක් හේතුවෙන් හෝ අනියම් සම්බන්ධයක් හේතුවෙන් මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවට පොලීසිය සැකපල කරන අතර, සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.
