පාකිස්තානයේ දැනට පවතින පළාත් හතර වෙනුවට පළාත් 12ක් දක්වා ස්ථාපිත කිරීමේ යෝජනාව යළිත් දේශපාලන සංවාදයට ලක්ව ඇති අතර, එමඟින් රට තුළ දැනටමත් පවතින දේශපාලන හා ජනවාර්ගික බෙදීම් තවදුරටත් උග්‍ර විය හැකි බවට අනතුරු ඇඟවීම් පළවනවා.
මෙම යෝජනාවට හමුදා ප්‍රධානී ජෙනරාල් අසීම් මුනීර්ගේ සහාය පවතින බවට දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන අතර, එමඟින් ෂරීෆ් සහ සර්දාරි පවුල්වල ප්‍රධාන දේශපාලන පක්ෂවල බලය දුර්වල කර හමුදාවේ දේශපාලන බලපෑම තවදුරටත් පුළුල් කිරීමේ අරමුණක් පවතින බවට ද චෝදනා එල්ල වී තිබෙනවා.
කෙසේ වෙතත්, හිටපු ජනාධිපති අසිෆ් අලි සර්දාරි සහ බිලාවල් භූතෝ සර්දාරි මෙම අදහසට විවෘතව විරෝධය පළ කරන අතර, නවාස් ෂරීෆ් ඊට ප්‍රතිචාර දක්වන්නේ තීරණය ප්‍රමාද කිරීමේ ප්රවේශයකින් බව විශ්ලේෂකයෝ පවසනවා.
පාකිස්තාන ව්‍යවස්ථාවේ 239 වැනි වගන්තිය යටතේ පළාත් සීමා වෙනස් කිරීම සඳහා දැඩි ව්‍යවස්ථාමය ක්‍රියාපටිපාටියක් අනුගමනය කළ යුතුයි.
විශේෂයෙන්ම සින්ද් පළාත තුළ නව පළාත් පිහිටුවීමට උත්සාහ කිරීමෙන් ප්රචණ්ඩත්වය සහ අස්ථාවරත්වය ඇතිවිය හැකි බවට ද අනතුරු ඇඟවී තිබෙනවා.
පෂ්තුන්, බලුච්, සින්දි සහ පන්ජාබ් ජන කොටස් අතර පවතින ආතතීන් හමුවේ පළාත් සීමා නැවත සකස් කිරීම රට තුළ තවදුරටත් දේශපාලන අර්බුද සහ සමාජ බෙදීම් ඇති කළ හැකි බවට විශ්ලේෂකයෝ පෙන්වා දෙනවා.
එබැවින් දැනට පවතින දේශපාලන හා සමාජීය අස්ථාවරත්වය මධ්‍යයේ මෙවැනි ප්රතිසංස්කරණයක් ක්‍රියාත්මක කිරීම දැඩි අවදානමක් සහිත පියවරක් වනු ඇති බව ඔවුන්ගේ අදහසයි.










