අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ආපදා සහන මෙහෙයුම් සඳහා නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් එකසිය හැත්තෑ එකක් සූදානමින් තබා ඇති බව නාවික හමුදාව පවසනවා.
දිවයිනට ඊශාන දෙසින්, බෙංගාල බොක්කේ අන්දමන් මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව නිර්මාණය වී ඇති අඩු පීඩන කලාපය හේතුවෙන්, දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ පීඩාවට පත්වන ජනතාවට සහන සැලසීම වෙනුවෙන් අද (21) උදෑසන වන විට ආපදා සහන කණ්ඩායම් 14ක් දකුණු සහ බටහිර නාවික විධානය මඟින් ස්ථානගත කර ඇති බවයි වාර්තා වුණේ.
ඒ, අනුව දකුණු නාවික විධානය මඟින්; තවලම ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක්, හිනිදුම ප්‍රදේශයේ එක් කණ්ඩායමක්, මාපලගම ප්‍රදේශයේඑක් කණ්ඩායමක් සහ නාගොඩ ප්‍රදේශයේ එක් කණ්ඩායමක් වශයෙන් ආපදා සහන කණ්ඩායම් පහක් ස්ථානගත කර තිබෙනවා.
එමෙන්ම, බටහිර නාවික විධානය මඟින් නාවලපිටිය ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක්, යටියන්තොට ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක්, සීතාවක ප්‍රදේශයේ කණ්ඩායම් දෙකක් සහ රත්නපුර ප්‍රදේශයේ කණ්ඩායම් තුනක් වශයෙන් ආපදා සහන කණ්ඩායම් 09ක් අවශ්‍යතාවය මත යෙදවීම සඳහා ස්ථානගත කර ඇති බවයි නාවික හමුදාව සඳහන් කළේ.













