වැසි සහිත කාලගුණ තත්ත්වය 25 වනදා දක්වා – ධීවර සහ නාවික ප්‍රජාවට විශේෂ දැනුම්දීමක්

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය ලබන 25 වනදා දක්වා අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයේ අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් පවසනවා.

මේ හේතුවෙන් ගංඟා නිම්න ආශ්‍රිතව පහත් බිම්වල ජීවත්වන ජනතාව සහ නායයාම් අනතුරු සහිත ප්‍රදේශවල ජීවත්වන ජනතාව අවදානයෙන් පසුවන ලෙසයි අධ්‍යක්ෂවරයා දැනුම් දෙන්නේ.

මේ අතර නැගෙනහිර මධ්‍යම බෙංගාල බොක්ක සහ යාබද උතුරු අන්දමන් මුහුද ආශ්‍රිතව පවතින අඩු පීඩන කලාපය බටහිර දෙසට බරව වයඹ දෙසට ගමන් කරමින් අද (21) දිනයේ ක්‍රමයෙන් නැගෙනහිර – මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ දී පීඩන අවපාතයක් දක්වාත්, හෙට (22) දිනයේ එය තවදුරටත් ගැඹුරු පීඩන අවපාතයක් වර්ධනය වී සැප්ප්තැම්බර් 23 වන දින 0000 UTC ට පමණ උතුරු ආන්ද්‍රා ප්‍රදේශ් සහ දකුණු ඔඩිෂා වෙරළ තීරයට ආසන්නව බටහිර මධ්‍යම සහ යාබද වයඹ දිග බෙංගාල බොක්ක ප්‍රදේශයට ළඟා වීමට බොහෝ දුරට ඉඩ පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් උතුරු බෙංගාල බොක්ක ප්‍රදේශයේ ධීවර සහ නාවික කටයුතුවල නිරතවවන ප්‍රජාව ඉතා ඉක්මනින් ආරක්‍ෂිත ස්ථාන කරා ගමන් කරන ලෙස අධ්‍යක්ෂ මෙරිල් මෙන්ඩිස් දැනුම් දෙනවා.